පෙරළි රැසක් මැද ගෙවුණු 2022

238

2020 වසර ඉතිහාසයට එක්වන්නේ මෙරට සමාජ, දේශපාලන ආර්ථික අංශයන්ගේ බරපතළ කඩාවැටීම්, හැලහැප්පීම් සහිත වසරක් ලෙසින්ය. වසර ආරම්භ වනවිට උද්ධමන අනුපාතය 12.01%ක්ව පැවැති අතර ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තවත් භාණ්ඩ රැසක මිල ගණන් යම් මට්ටමක් දක්වා ඉහළ අගයක පැවැතණ. ඊට අමතරව වසර 02ට ආසන්න කාලයක් රට තුළ පැවැති කොරෝනා වසංගතය හේතුවෙන් රටම බරපතළ කඩා වැටීමකට ලක්ව පැවැති වටපිටාවක උදාවූ 2022 ජනවාරි මුල් සතියේ සිට කොවිඩ් මර්දනය පිණිස පනවා තිබූ නීති රීතී තරමක් දුරට ලිහිල් කිරීමට සෞඛ්‍ය අංශ විසින් තීරණය කරන ලදී. ඒ අනුව වසර ආරම්භ වන්නේ කාර්යාල, සාප්පු සංකීර්ණ, ආපනශාලා ප්‍රදර්ශන ශාලා සහ උපකාරක පන්ති ඒවායේ ධාරිතාවයෙන් හරි අඩක් යටතේ ක්‍රියාත්මක කළ වර්ෂයක් ලෙස ය.

වසර ආරම්භ වී දින කීපයක් ඉක්මගිය තැන මෙරට ගීත සාහිත්‍යය වෙනුවෙන් මහත් මෙහෙවරක් කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහගේ මරණය සිදුවිය. ඊට අමතරව විශේෂ සිදුවීම් කිසිවක් සිදුනොවූ මාසයක් ලෙස ජනවාරිය කෙමෙන් ගතවෙමින් පැවැති අතර ජනවාරි මස 27 වැනි දින එතෙක් පැවැති නිරෝධායනය කාලසීමාවූ දින 14 ක කාලය දින 07 ක් දක්වා අඩුකිරීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අංශ විසින් කටයුතු කරන ලදී.

එවැනි වටපිටාවක උදාවූ පෙබරවාරි මාසය රටේ තැන් තැන්වල විරෝධතා උද්ඝෝෂණ ආදිය සිදුවෙමින් පැවැති මාසයක් බවට පත්විය. ඊට අමතරව පෙබරවාරි මස 06 වැනි දින ඉන්ධන මිලෙහි ඉහළ යෑමක් සිදුවූ අතර එය රටතුළ බරපතළ ප්‍රහ්නයක් ඇතිකළ සිදුවීමක් බවට පසුව පත්විය. පෙබරවාරි 06 වැනි දින සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් බවට පත්වූවේ භාරතයේ ගීත කෝකිලාවිය ලතා මංගේෂකාර්ගේ මරණය එදින සිදුවීමය. එය මුළුමහත් ලෝකයම කම්පාවට පත්කළ මරණයක් විය.

මේ අතර පෙබරවාරි 14 වැනි දින රූපවාහිනී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල විය. එය මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ බොහෝ කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්විය. මේ අතර මුද්‍රිත මාධ්‍ය ක්‍ෂේත්‍රයේ තවත් සුවිශේෂී සිදුවීමක් බවට පත්වූවේ ‘දිවයින’ ජාතික පුවත්පත ආරම්භ කොට ඉකුත් පෙබරවාරි මසට වසර 40 ක් සම්පූර්ණ වීම ය. ජාත්‍යන්තර වශයෙන්ද සුවිශේෂී සිදුවීමක් වාර්තා වූ පෙබරවාරි මාසය නිමාවට පත්වූවේ රුසියානු හමුදා විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ මහා සංග්‍රාමයත් සමග ය.

පෙරළි රැසක් මැද ගෙවුණු 2022

මාර්තු මස වනවිට රට තුළ උග්‍ර ඉන්ධන අර්බුදයක් පැන නැඟීමේ රතු එළිදැල්වෙමින් තිබූ අතර මාර්තු මස 03 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගත් තීන්දුවකට අනුව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කළහ. මාර්තු 07 වැනි දින වනවිට ඇමරිකානු ඩොලරය රුපියල් 230ක අගයක් දක්වා ඉහළ ගොස් තිබූ අතර ඊට විසඳුමක් ලෙස මහ බැංකුව විසින් රුපියල පා කර හැරීමේ තීරණය ගනු ලබන්නේ ද එදින ය. ඊට දින කිහිපයකට පසුව එළැඹි මාර්තු 09 වැනි දින අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් සඳහා ආනයනික සීමා පනවන අතර රට තුළ කෙමෙන් කෙමෙන් ජනතා විරෝධයක් මතුවීමේ සංඥා එළි නිකුත්වන්නේ එවැනි ආර්ථික සමාජීය වටපිටාවක් පසුබිම් කර ගනිමින්ය. මාර්තු 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රු.110ක් දක්වා ඉහළ දැමීමට රජය විසින් ගත් තීරණය අනුව රටේ සාමාන්‍ය ජන ජීවිතයට එය මහත් පීඩාවක් ඇතිකරන ලද තීරණයක් බවට ද පත්විය. ඒ වනවිට ද ඖෂධ හල් අසල දිගු පෝලිම් දකින්ට ලැබුණ අතර ක්‍රමයෙන් රට තුළ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය මුල් කරගනිමින් ද විවිධ ගැටලු පැන නඟින ආකාරය දැකගත හැකි විය. මේ අතර මාර්තු මස 30 වැනි දින තවත් අනතුරු ඇඟවීමක් සිදුකරන විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය සඳහන් කර සිටින්නේ පවතින තත්ත්වයට විසඳුම් ලබානොදීම තුළ ඉදිරියේ දී පැය 15 ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදුවන බවය.

අප්‍රේල් මස පළමු දින උදාවන්නේ ඊට පෙර දින (මාර්තු 31) ජනතාව විසින් මිරිහානේ පිහිටි ජනපති නිවස වැටලූ ප්‍රවෘත්තියක් සමග ය. පිරිස විසුරුවා හැරීම පිණිස ආරක්‍ෂක අංශ විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර ආදිය ද එල්ල කළ ද එම විරෝධතාවය නිමාවට පත්වන්නේ රට හමුවේ තවත් අර්බුද විරෝධතා රැසකට ආරම්භය ලබාදෙමින් ය. මිරිහානේ සිදුවීමෙන් පොලිස් නිලධාරීන් 24ක් මාධ්‍යවේදීන් 06ක් සහ සාමාන්‍ය වැසියන් 52ක් තුවාලකරුවන් බවට පත්විය.

අප්‍රේල් මස 04 වැනි දා වනවිට රට පුරා විරෝධතා රැල්ලක් හා උද්ඝෝෂණ රැසක් ක්‍රියාත්මක වෙමින් තිබූ අතර තංගල්ල කාල්ටන් නිවස වැටලීමට ද එහිදී පිරිසක් කටයුතු කළ අතර එම විරෝධය මැඬ පැවැත්වීම පිණිස ද රජයේ ආරක්‍ෂක අංශ මහත් ප්‍රයත්නයක් දැරීය. අප්‍රේල් මස 06 වැනි දින වනවිට ආණ්ඩුවට බලවත් අනතුරු ඇඟවීමක් සිදුකරමින් පොහොට්ටුව මන්ත්‍රීවරුන් 42ක් ස්වාධීන මන්ත්‍රීවරුන් බවට පත්වන අතර එය ද මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් බවට පත්විය. මේ අතර මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්වන අතර ඔහු එම ධුරයේ වැඩ භාරගනු ලබන්නේ ඉකුත් අප්‍රේල් මස 08 වැනි දින ය.

මේ වනවිට රට ම දැඩි අර්බුදයක පැවැති අතර ඉන්ධන පෝලිම් ඇතුළු තවත් පෝලිම් රැසක් රට පුරා නිර්මාණය වෙමින් පවතින අයුරු දැකගත හැකිවූහ. ඉන්ධන පෝලිම් තුළ දින ගණනාවක් ගතකළ ඇතැම් පුද්ගලයන් එවැනි ස්ථානවල මරණයට පත්වන අයුරු දැක්වෙන ප්‍රවෘත්ති විසින් ජනමනස තව තවත් විකෘති කරන ලදී. මේ අතර ආණ්ඩුව විරෝධය පා මින් ගාලු මුවදොර අරගලය ආරම්භව පැවැති අතර දිනෙන් දින ඒ වටා ජනතාව ඒකරාශි වන්නේ ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවැති දැවැන්තම ජනතා අරගලය එය බවට පත්කිරීමේ දැඩි උවමනාවකින් සහ උනන්දුවකින් යුක්තව ය.

එහිදී ජනතාව විසින් රාජපක්‍ෂ පාලනයට විරුද්ධව දැවැන්ත විරෝධයක් දැක්වීම ජනතා අරගලයේ ආරම්භයේ පටන් දක්නට ලැබුණ සුවිශේෂී සිදුවීමක් බවට ද පත්විය.

පෙරළි රැසක් මැද ගෙවුණු 2022

මේ අතර ඉන්ධන ලබාදෙන ලෙස බලකරමින් රඹුක්කනදී පවත්වන ලද ජනතා විරෝධය මැඬපැවැත්වීම පිණිස පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් තරුණයකු මරණයට පත්වන අතර එය ආණ්ඩුවට එරෙහිව තව තවත් ජනතා විරෝධය අවුළුවාලන ලද සිදුවීමක් බවට ද පත්විය.

එවැනි වටපිටාවක් තුළ ගාලු මුවදොර ක්‍රියාත්මක වෙමින් පැවැති අරගලය ‘නොනිදන අරගලයක්’ බවට පත්වූහ. විවිධ වෘත්තිකයන්, ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු සමාජයේ විවිධ ස්ථරයන් එහි සක්‍රීය සමාජිකයන් බවට පත්වෙමින් සිටි අතර ජනතා විරෝධය මැඬලීමට සමත් විසඳුම් කිසිවක් රජය විසින් ගෙන ඒමට අපොහොසත්වීමක් එහිදී කැපී පෙනෙන ලක්‍ෂණයක් බවට පත්විය. මේ අතර ඉකුත් අප්‍රේල් මස 28 වැනි දින දුම්රිය, සෞඛ්‍ය තැපැල්, ලංවීම, වරාය ඇතුළු රාජ්‍ය හා පුද්ගලික අංශයේ සමස්ත වැඩ වර්ජනයක් ද සිදුවූහ.

මේ අතර කලා ලෝකය ශෝකයට පත්කරමින් ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරු තම දිවිගමන නිමා කරන අතර එම අවමඟුල් උත්සවය පිණිස ද විශාල පිරිසක් සහභාගි වූ අයුරු දැකගත හැකි විය. රැයෙන් රැය විවිධ උණුසුම් පුවත් කරළියට පැමිණි මාසයක් ලෙස ඉකුත් මැයි මස ඉතිහාසයට එක්විය. රට තුළ කඳුළු ගෑස් බැටන් ප්‍රහාර බහුල ලෙස දැකගත හැකිවිය. ඒ වනවිට අරගලයට දින 28 ක් සම්පූර්ණව පැවැතිණ. මැයි මස 09 වැනි දින උදාවූවේ රට ම ගිනිගත් දිනක් ලෙස ය. එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ වීරකැටිය ප්‍රදේශයේ තවත් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්‍ෂයට පත්වූහ. ඊට අමතරව ගාලු මුවදොර අරගල භූමියේ රැඳී සිටි පිරිසෙන් 130 දෙනකුට පමණ තුවාල සිදුකළ මැර ප්‍රහාරය හේතුවෙන් මුළු රට ම එකම යුද පිටියක් බවට පත්වූ අතර රජය විසින් ක්‍රියාත්මක කළ ඇදිරි නීතිය මධ්‍යයේ වුවද ජනතා විරෝධය ඒ අයුරින් පැවැතීම එදින දකින්නට ලැබුණු සුවිශේෂී සිදුවීමක් බවට පත්විය. ජීවිත හා දේපළ හානි රැසක් සිදුවෙමින් පැවැති වටපිටාවක් තුළ රනිල් වික්‍රමහසිංහ මහතා ඉකුත් මැයි මස 12 වැනි දින 06 වැනි වරටත් මෙරට අගමැතිවරයා ලෙස ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දෙනු ලබන්නේ මෙරට දේශපාලනයේ තවත් සුවිශේෂී පරිච්ඡේදයක් ආරම්භ කරමින් ය.

මේ අතර ඉකුත් ජූලි මස 13 වැනි දින මෙරට 07 වන විධායක ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන අතර එය ඉතිහාසයට එකතු වන්නේ මෙරට ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයකින් ජයගත් ජනාධිපතිවරයා මෙන්ම සිය ධුර කාලය නිමවීමට පෙර ඉල්ලා අස්වූ ප්‍රථම හා එකම ජනාධිපතිවරයා වශයෙන්ය. එම සිදුවීම් වනවිට ද අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරය සිය ග්‍රහණයට ගෙන තිබූ අතර ජනාධිපතිවරයාගේ අස්වීම පමණක් ඇතිවී තිබූ ජනතා විරෝධය මැඬපැවැත්වීම පිණිස ප්‍රමාණවත් නොවීය.

ඉකුත් වසර තුළ සිදුවූ දේශපාලන පෙරළි එතෙකින් නිමාවට පත්වන්නේ නැත. ඉකුත් ජූලි මස 20 වැනි දින එතෙක් අගමැති ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අටවන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් අතර අගමැති ධුරය සඳහා තෝරාපත් කර ගනු ලබන්නේ තවත් ජ්‍යෙෂ්ඨ මහජන නියෝජිතයකු වූ දිනේෂ් ගුණවර්ධන මහතාව ය. මේ ආකාරයට ඉතිහාසයේ මෙතෙක් කලක් සිදුනොවී පැවැති සිදුවීම් රැසක් සිදුවූ වසරක් ලෙස 2022 වසර අතීතයට එකතුවන අතර එම වසර තුළ මෙරට කලා ක්‍ෂේත්‍රයේ තවත් ප්‍රවීණයන් කීපදෙනෙක්වූ ජීප්සීස් නායක සුනිල් පෙරේරා, ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු, ප්‍රවීණ ගායන ශිල්පීන්වන නුවන් ගුණවර්ධන, නිහාල් නෙල්සන් යන කලාකරුවන් සිය දිවි සැරිය නිමාකළ වර්ෂය බවට ද පත්වූහ.

එකිනෙකට වෙනස් හා අනපේක්‍ෂිත සිදුවීම් ආදියෙන් ග්‍රහණ වසරක් අවසන්ව යමින් ඇත. උදාවන 2023 වසර තුළ කුමන ආකාරයේ පෙරළි සිදුවේ දැයි දැන්ම අනුමාන කළ නො හැකිය. කෙසේ වෙතත් රටේ ජනතාවගේ ඒකායන ප්‍රාර්ථනාව බවට පත්ව ඇත්තේ උදාවන වසර රටට යහපතක් වනු දැකීම ය. අපගේ ද පැතුම එයම ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment