පෙරළුණු ඇඳ විට්ටමට යටවුණු තුන් හැවිරිදි දැරිය මරුට

640

තේක්ක ලී වලින් සකස් කරනු ලැබූ ඇඳ විට්ටමක් පෙරළී එයට යටවීමෙන් තුන් හැවිරිදි වියේ පසුවන දැරියක් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති හදිසි මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.

මියගොස් ඇත්තේ මානවගේ ගයුමි පතිරණ (03) නැමති උඩවලව, දකුණු ඇළ ප්‍රදේශයේ පදිංචි දැරියකි. මියගිය දැරියගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් 05දා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පත්වනු ලැබීය.

දැරිය පදිංචි නිවස අසල ඥාතිවරයකුගේ නිවසේ දානමය පිංකමක් තිබී ඇත. මෙම දැරිය එම නිවසේ දරුවන් සමග සෙල්ලම් කරමින් සිට ඇත. එම අවස්ථාවේ බිත්තියට හේත්තු කොට තිබූ තේක්ක වලින් සකස් කොට තිබූ ඇඳ විට්ටමක් පෙරළී ගොස් දැරියගේ ඇඟ මතට වැටී ඇත. දැරිය ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කොට එවා තිබිණි. කරාපිටිය රෝහලේ දී දැරිය ශල්‍යකර්මයකටද ලක්කොට තිබූ අතර සිද්ධිය වී දින 11කට පමණ පසු දැරිය කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගියාය.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සී.ටී. මහානාම මහතා විසින් සිදු කරණු ලැබීය. ඉදිරිපත්වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා හිසට වූ තුවාල නිසා මරණය සිදුවී ඇති බවට තීන්දු කළේය.

ලලිත්චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment