පෙරේදා හැටන් සුපිරි වෙළෙඳ සලක ලක්‍ෂ 50 ක අරක්කු විකිණිලා

96

හැටන් නගරයේ පිහිටි සුපිරි වෙළෙඳසලක මත්පැන් අලෙවි සලේ පෙරේදා (23දා) පමණක් රුපියල් ලක්ෂ පනහක මත්පැන් අලෙවි වී ඇති බව එම සුපිරි වෙළෙඳසලේ නිලධාරියෙක් පැවසිය.

එදින එම සුපිරි වෙළෙඳසලේ දෛනික වෙළෙඳාම රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වන බවත්, ඉන් මත්පැන් අලෙවි සලේ පමණක් රුපියල් ලක්ෂ පනහක අලෙවියක් සහ රු. ලක්ෂ විස්සකට ආසන්න අනෙකුත් ආහාර ද්‍රව්‍ය අලෙවියක් කර ඇති බවත් එම නිලධාරියා කියා සිටියේය.

දීපාවලි උත්සවය නිමිත්තේන් ඊයේ (24දා) නුවරඑළිය දිස්ත්‍රික්කයේ මත්පැන් හල් වසා දමා ඇති නිසා 23 වැනිදා මත්පැන් බෝතල් මිලදී ගැනීමට සදහා විශාල ඉල්ලුමක් තිබූ බවත් ඔහු පැවසීය.

මේ අතර දීපාවලි උත්සව සමය නිමිත්තෙන් හැටන් ලංගම ඩිපෝවෙන් 22,23 සහ 24 යන තෙදින තුළ කෙටි සහ දුර ගමන් බස් රථ ධාවනයෙන් තම ඩිපෝවට රුපියල් ලක්ෂ එකසිය තිස් එකක ආදායමක් උපයා ගත් බව එම ඩිපෝවේ නිලධාරියෙක් පැවසීය. එම ආදායම උපයා ගැනීමට තම ඩිපෝවේ රියැදුරන්, කොන්දොස්තරවරුන්, නිලධාරීන් සහ සේවකයන් දැඩි කැපවීමෙන් සේවය කළ බවත්, දීපාවලි උත්සව සමය අවසන් වන තෙක්ම තම ඩිපෝවේ සේවාව අඛණ්ඩව ලබා දෙන බවත් එම නිලධාරියා පැවසීය.

නුවරඑලිය – නාලක රත්නායක

 

advertistmentadvertistment
advertistmentadvertistment