පෙර අපරදිග යා කළ චීනයේ පඬුරු වෙළෙඳාම

364

චීනයේ වාණිජ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනයේ දී වෙළෙඳාම නමැති සාධකයට ඉතා විශේෂ ස්ථානයක් හිමිවන අතර එය බාහිර වෙළෙඳාම හා අභ්‍යන්තර වෙළෙඳාම වශයෙන් කොටස් ද්විත්වයකට බෙදා දැක්විය හැකිය. එහෙත් මුල්කාලීනව චීනය හුදෙකලා ශිෂ්ටාචාරයක් වශයෙන් කටයුතු කරනු ලැබීම හේතුවෙන් බොහෝ දුරට විදේශීය වෙළෙඳාමෙන් දුරස් වූ පිරිසක් වශයෙන් කටයුතු කරනු ලැබීය. ඒ සඳහා චීනයේ භූගෝලීය පිහිටීම සහ කොන්ෆියුසියස් ධර්මයේ බලපෑම හේතු වී ඇත. එහෙත් එම අභියෝගයන්ට ප‍්‍රතිචාරයක් වශයෙන් චීන රජවරුන් හා ඔවුන්ගේ නිලධාරී පැලැන්තියේ ක‍්‍රියාකාරීත්වය මත බාහිර හෙවත් විදේශීය වශයෙන් ගෙනයනු ලැබූ වෙළෙඳාම ‘චීන පඬුරු වෙළෙඳාම’ වශයෙන් හඳුන්වනු ලබයි.

ඒ අනුව චීන ජාතිකයන් ඈත අතීතයේ සිට අභ්‍යන්තරික වශයෙන් වෙළෙඳ කටයුතුවලට සම්බන්ධ වී ඇති බවට සාධක හමු වුවද ඔවුන් විදේශ ලෝකය හා වෙළෙඳ සබඳතා පවත්වා ගැනීමට යොමු වී ඇත්තේ බොහෝ පසුකාලීනවය. ඒ අනුව ක‍්‍රි. පූ. 2-1 වැනි සියවස් වනවිට චීන සභ්‍යත්වයේ වර්ධනයත් සමඟ විදේශීය වෙළෙඳාමේ අවශ්‍යතාව ඔවුනට හැඟී යන්නට විය. ඊට ප‍්‍රධන වශයෙන්ම හේතු වූයේ ඔවුන්ගේ යුද කටයුතු සඳහා මෙන්ම විශාල භූමි වපසරියකින් යුතු ප‍්‍රදේශවල පරිපාලන තන්ත‍්‍රය මෙහෙයවීමට හා පරිවහණ කටයුතු සඳහා අශ්වයන් ලබාගැනීමේ අවශ්‍යතාව ඉස්මතු වී පැමිණීමය. එමෙන්ම පරිවහණයට, භාණ්ඩ ප‍්‍රවාහනයට සහ උතුරු මොංගෝලියානු ශුෂ්ක හා අර්ධ ශුෂ්ක ප‍්‍රදේශවල ගමනාගමනයට ඔටුවන් වැනි සතුන්ගේ අවශ්‍යතාව ඇති වීම ද චීන ජාතිකයන් හට විදේශීය වෙළෙදාමේ අවශ්‍යතාව මැනවින් වටහා ගැනීමට ඉවහල් වූ සාධකයක් විය. ඒ අනුව මෙම පඬුරු වෙළෙඳාම ප‍්‍රධාන වශයෙන්ම ගෙනයනු ලැබුවේ තානාපති සබඳතා මඟිනි. ඒ අනුව චීන අධිරජු සිය අවශ්‍යතාව පරිදි තමනට අවශ්‍ය ප‍්‍රදේශවලට තානාපතියන් පිටත්කර හරිනු ලැබීය. මෙලෙස චීන තානාපතිවරුන් අග්නිදිග ආසියාව, මධ්‍ය ආසියාව, අකුණු ආසියාව (ලංකාව හා ඉන්දියාව), බටහිර ආසියාව සහ ග‍්‍රීක රෝම ප‍්‍රදේශ දක්වා පිටත්කොට ඇති බවට සාධක හඳුනාගත හැකිය. එහිදී මෙම ප‍්‍රදේශවල පැවති රාජධානි තුළට පැමිණෙන චීන තානාපතිවරුන් එම රාජධානිවල ස්වරූපය, ධනවත්භාවය ආදිය පිළිබඳව ඉතා හොඳින් අධීක්ෂණය කොට චීනය සමඟ තානාපති සබඳතා පවත්වන ලෙසට ආරාධනා කරනු ලබයි. මෙලෙස චීන තානාපතිවරුන්ගේ ආරාධනය පිළිගෙන චීනයට පැමිණෙන විදේශීය රටවල තනාපතිවරුන් චීන අධිරාජ්‍යයා බැහැදැකීමට පැමිණීමේ දී තම රටේ ඇති වැදගත් වෙළෙඳ ද්‍රව්‍ය හා නිෂ්පාදනයන් පඬුරු වශයෙන් චීන අධිරාජ්‍යයාට පිරිනමනු ලබයි. එයට ප‍්‍රතිචාර වශයෙන් චීන අධිරජු ද මෙම පැමිණි පිරිස්වලට සිය රටේ වැදගත්ම නිෂ්පාදනයන් වන සේද, පටපිළි, පිඟන් භාණ්ඩ, තේ වැනි දෑ ලබාදී ඇත. මෙලෙස ක‍්‍රියාත්මක වූ වෙළෙඳ ක‍්‍රියාවලිය ‘චීන පඬුරු වෙළෙඳාම’ වශයෙන් හඳුනාගත හැකිය.

ඒ අනුව ක‍්‍රි. පූ. 220 දී පමණ චීනයේ පැවති චින් පාලනය අවසන් කරමින් ලියු-බාංග් (Liu-Bang) නමැති පාලකයා යටතේ චීනයේ හන්/හං රාජවංශයේ ආරම්භය සනිටුවහන් විය. සියවස් හතරක පමණ කාලයක් චීන දේශපාලන බලය මෙහෙයවනු ලැබූ හන් රාජවංශය චීන ඉතිහාසයේ ඉතා වැදගත් රාජවංශයක් වන අතර මෙම යුගයේ දී ප‍්‍රධාන වශයෙන්ම චීන පඬුරු වෙළෙඳාමේ වර්ධනය සනිටුවහන් වී ඇත. මෙයට ප‍්‍රධාන වශයෙන්ම හන් යුගයේදී කිලෝමීටර 6737 න් යුතු (සැතපුම් 4000) ගොඩබිම් සේද මාර්ගයේ වර්ධනය හේතු වී ඇති බවට හඳුනාගත හැකිය. ඒ අනුව ගොඩබිම හරහා වෙළෙඳාම සිදු වූ මුල් කාලයේ රජ මාවත වශයෙන් හඳින්වූ මෙම මාර්ගය සෑං-ක්වෑං (Zang-Quin) (ක‍්‍රි.පූ. 114) රජු යටතේ වර්ධනය වීමත් සමඟ පෙර අපර දෙදිග යා කිරීමට මේ තුළින් හැකිවිය. ඒ හේතුවෙන් වෙළෙඳාමට අමතරව පෙර අපර දෙදිග ප‍්‍රදේශයන් අතර සංස්කෘතික ප‍්‍රවාහයන්, වෛද්‍ය විද්‍යාව, තාක්ෂණය, දාර්ශනික චින්තාවන් ද ප‍්‍රධාන වශයෙන් හුවමාරු වී ඇත.

ඒ අනුව මෙම යුගයේදී චීනය හා අන්‍ය ප‍්‍රදේශ සමඟ සමීප වෙළෙඳ ජාලයක් ඇතිව තිබූ බව මූලාශ‍්‍ර අධ්‍යයනයේ දී හඳුනාගත හැකිය. ඒ අනුව ග‍්‍රීක තානාපතියෙකු (ක‍්‍රි. පූ. 1 සියවසේ) බැක්ටි‍්‍රයාවට පැමිණි අවස්ථාවේ එහි චීන උණගස් තිබෙනු දැක පුදුමයට පත්වූ බවට සඳහන් වී තිබීම හේතුවෙන් සමකාලීන අවධියේ සේද මාර්ගය ඔස්සේ පැවති දියුණු වෙළෙඳාමක් පිළිබඳ තොරතුරු අනාවරණය වේ. එසේම K. A. Nilakanta Sastri විසින් රචිත A history of South India යන කෘතියේ දකුණු ඉන්දියාවේ කාඤ්චියට (හූවං-ශේ) යවන ලද චීන තානාපති පිරිසක් ගැන ලැබී ඇති චීන වාර්තාවක් හා මයිසූරයෙන් එම අවධියටම අයත් චීන කාසියක් සොයාගැනීම හේතුවෙන් ඉපැරණි අවධියේ පටන් දෙරට අතර තානාපති සබඳතා පවතින්නට ඇති බවට ඔහු නිගමනය කොට ඇත. එසෙම ඔහු දකුණු ඉන්දියානු වටිනා භාණ්ඩයන් වන වෛදූර්ය මාණික්ක්‍යන්, හඳුන් සහ මුතු ආදිය චීන රජවාසලට පඬුරු වශයෙන් ගෙනගිය බවට සාධක හමුවන බව ප‍්‍රකාශකොට ඇත. ඒ අනුව හන් රාජවංශික සමයේ ගොඩබිම් මාර්ගයෙන් මෙන්ම මුහුදු මාර්ගයෙන් ද පඬුරු වෙළෙඳාම ක‍්‍රියාත්මක වී ඇති බව පෙනීයයි.

එසේම හන් රාජවංශයේ පින්ග් අධිරාජ්‍යාගේ (ක‍්‍රි.ව. 1-6) කාලයේදී ඔහු විසින් චීන නිලධාරීන් පිරිසක් දකුණු ආසියාතික ප‍්‍රදේශයට එවන ලද බවට ”හන්ෂු’’ හෙවත් ”හන් පරපුරේ ඉතිහාසය’’ නම් ග‍්‍රන්ථයේ සඳහන් වී ඇත. මෙහි සඳහන් එක් රාජ්‍යයක් වශයෙන් ෂූ-චෙන්ග්-පූ යන පදයෙන් හඳුන්වනු ලැබූ ප‍්‍රදේශය පෙන්වාදිය හැකිය. එම පදයෙන් ”සිංහ ද්වීප’’ හෙවත් ”සිංහල ද්වීපය’’ අර්ථවත් වන බවට විද්වතුන් විශ්වාස කරනු ලබයි. ඒ අනුව මෙම ගමන්වල අරමුණ වී ඇත්තේ අධිරාජ්‍යාගේ අධිකාරි බලය හා ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් කිරීම හා විදේශීය රටවල භාණ්ඩ ලබා ගැනීම බවට පැහැදිලි වේ. එමෙන්ම චීන වාර්තාවලට අනුව ක‍්‍රි.ව. 97 දී පමණ ශ‍්‍රී ලංකා තානාපතියෙකු චීනයට ගිය බව පැහැදිලි වේ. එහිදී යු-ෂ-බී සහ ෂෙන් රජවරුන් ඇත්දත්, මී හරක් අං හා විශාල ගොණුන් තානාපතියන් අත එවූ බවට සඳහන් වේ. මෙහිදී ෂෙන් යනු ශ‍්‍රී ලාංකේය රජුන් බවට හඳුනාගෙන ඇත. එසේම නැවත ලංකාවෙන් ක‍්‍රි.ව. 120 දී පමණ තනාපතියන් චීනයට පැමිණි බවට චීන වාර්තා තුළින් තොරතුරු ලැබේ. එසේම හන් ඉතිහාසයට අනූව භාතිකාභය රජු දවස චීන දූතයන් දිවයිනට පැමිණි බවට මෙන්ම හන්-ෂූ (Hou-han-Shu) ග‍්‍රන්ථයට අනුව ක‍්‍රි.ව. 131 දී ගජබාහු රාජ්‍ය සමයේදී ද චීන ලංකා සබඳතාවක් පිළිබඳව තොරතුරු හෙළිවන බවට ද ඇතැම් විද්වතුන් පෙන්වා දීමට උත්සාහකොට ඇත.

ඊට අමතරව ක‍්‍රි.ව. 6-189 කාලය තුළ හන් වංශයේ ඉතිහාසය ගැන ග‍්‍රන්ථයක් ක‍්‍රි.ව. 5 වන සියවසේදී සම්පාදනය කළ ෆැන්-යී (Fan-Ye) දක්වා ඇත්තේ ඇන්ටෝනියස් පයස් (Antoninus Pius) නමැති රෝම අධිරාජ්‍යාගේ තානාපතිවරයෙකු ඇතුළු දූත පිරිසක් ක‍්‍රි.ව. 126 දී පඬුරු රැගෙන චීන අධිරාජ්‍යයා බැහැ දැකීමට පැමිණ ඇති බවය. මෙය සිද්ධිය සිදු වී බොහෝ කලකට පසුව රචනා වී ඇති බැවින් සත්‍යාසත්‍යභාවය පිළිබඳව යම් යම් ප‍්‍රශ්න මතු වුවද සමකාලීන අවධියේ චීන පඬුරු වෙළෙඳාමේ ව්‍යාප්තිය සලකන විට හා චීන ඉතිහාස සම්ප‍්‍රදාය තුළ අසත්‍ය තොරතුරු රචනා වීම අවම බැවින් මෙහිද යම් සත්‍යතාවයක් ඇති බවට විද්වතුන් විශ්වාස කරනු ලබයි. ඒ අනුව පෙනීයන්නේ චීන පඬුරු වෙළෙඳාම සේද මාවතේ වර්ධනයත් සමඟ පෙර අපර දෙදිග යා කරමින් ක‍්‍රියාත්මක වී ඇති බවය.

මෙලෙස චීන පඬුරු වෙළෙඳාමේදී අන්‍ය රටවල සුඛෝපභෝගී භාණ්ඩ රැගෙන ඒවාට පඬුරු වශයෙන් විදේශ තානාපතියන්ට චීන රජු විසින් ලබා දී ඇත්තේ විදේශීය වශයෙන් විශාල ඉල්ලුමක් තිබූ සේද නිෂ්පාදනයන් ය. ඊට අමතරව පිඟන් භාණ්ඩ හා චීන තේ වැනි විදේශීයන් තුළ විශාල ඉල්ලුමක් පවතින දෑ ද ලබා දී ඇත. මෙලෙස චීන අධිරජු සිය පඬුරු පිරිනමනුයේ තමනට පඬුරු ගෙනා රාජ්‍යයේ වැදගත්කම අනුව වන අතර එහිදී සිය පඬුරු සේදවල ඔතා ලබා දෙනවාද, රන් හෝ රිදී ඇසුරුමක ඇසුරුම් කොට ලබා දෙනවා ද යන්න සහ ලී පෙට්ටියක අසුරා පඬුරු වශයෙන් ලබා දෙන්නේ ද යන්න තීරණය වූයේ පඬුරු ගෙන එනු ලැබූ රටේ ස්වභාවය අනුව බව පැහැදිලිය. ඒ අනුව ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, රෝමය සහ අරාබි ප‍්‍රදේශවලින් පැමිණි වෙළෙඳ ප‍්‍රජාවන්ට චීන රජු වටිනාකමින් අධික පඬුරු ලබාදුන් බවට ද තොරතුරු අනාවරණය කරගත හැකිය.

එසේම හන් යුගයෙන් පසු කාලය චීන ඉතිහාසයේ තරමක් දේශපාලනමය වශයෙන් පසුගාමී අවධියක් වුවද ක‍්‍රි.ව. 7 වන සියවසේ දී එනම් ක‍්‍රි.ව. 618 දී චීනයේ බලයට පැමිණෙන ටාං රාජවංශය (ටෑං) ක‍්‍රි.ව. 907 පමණ කාලය දක්වා දීර්ඝ කාල සීමාවක් පාලන බලය මෙහෙයවනු ලැබීය. ඒ අනුව මෙම ටාං යුගය තුළ දී චීනයේ දේශපාලන, ආර්ථික, යුදමය සහ සමාජ, සංස්කෘතියේ ද පෙර නොවූ විරූ අන්දමේ සමෘද්ධියක් ඇති විය. ඒ අනුව ටාං රාජවංශය චීනයේ විශාල ප‍්‍රදේශයක බලය හිමිකරගෙන සිටීම හේතුවෙන් සහ මධ්‍ය ආසියානු ගෝත‍්‍රික පිරිස් මර්දනය කිරීමට හැකිවීම හේතුවෙන් එම ප‍්‍රදේශය හරහා වූ වෙළෙඳ මාර්ගය ද වාණිජ ක‍්‍රියාකාරකම් සඳහා විවෘත කරගැනීමට හැකිවීම නිසා චීන පඬුරු වෙළෙදාම සීග‍්‍රයෙන් දියුණු වී ඇත. මෙලෙස ඔවුන් මධ්‍ය ආසියාව හරහා ගොඩබිම් මාර්ගයෙන් මෙන්ම චීනයේ දකුණු දිග ප‍්‍රදේශයෙන් හෙවත් ප‍්‍රධාන වශයෙන්ම මුහුදු මාර්ගයෙන් ද වෙළෙඳාම සඳහා යොමු වී ඇත. එයට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ටාං රාජවංශය යටතේ චීනයේ කැන්ටන් වරාය නිර්මාණය වීම හා එය විදේශ ලෝකයට විවෘත වීමය. එලෙස ක‍්‍රි.ව. 6-7 සියවස් වනවිට අරාබිවරුන් මුහුදු සේද මාර්ගය වර්ධනය කරමින් ඍජුවම චීනය දක්වා ගමන් කොට ඇති හෙයින් මධ්‍ය ආසියානු හා අග්නිදිග ආසියානු අතරමැදි වෙළෙඳුන්ගේ ග‍්‍රහණයෙන් මිදී චීන අධිරජුට ඍජුව බටහිර ප‍්‍රදේශ සමඟ වෙළෙඳ ක‍්‍රියාවලියේ යෙදීමට අවශ්‍ය අවකාශය ඇති කරවනු ලැබීය.

එසේම ටාං යුගයේ දී බුදු දහමේ ව්‍යාප්තියත් සමඟ කොන්ෆියුසියස් මතවාද ප‍්‍රබල ලෙස අභියෝගයට ලක්විය. මෙලෙස සියලු සාධකයන්ගේ බලපෑම මත ටාං යුගයේ අවසාන කාල පරිච්ෙඡ්දය වනවිට චීන අධිරජුට පාලනය කිරීමට පවා අපහසු අයුරින් චීන පඬුරු වෙළෙඳාමේ වර්ධනයක් ඇති වී ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් එතෙක් රාජ්‍යය ඒකාධිකාරය යටතේ වූ වෙළෙඳාමට ස්වාධීන වෙළෙඳුන් සම්බන්ධවීමත් සමඟ ටාං යුගයේ දී පෙර කලෙක දී දක්නට නොලැබි ආකාරයේ නාවික තාක්ෂණයේ දියුණුවක් ද ඇති විය. ඒ හේතුවෙන් චීන ජාතිකයන් අතර භාවිතයේ පැවති වෙඩි බෙහෙත්, තනි රෝදයේ කරත්තය ආදී දෑ බටහිරට හඳුන්වා දෙනු ලැබූ අතර චීනයේ වූ ප‍්‍රසිද්ධිය හේතුවෙන් ලෝකයේ විවිධ රටවලින් චීනයට වෙළෙඳුන් පැමිණි බවට වාර්තා වේ. ඒ බව මනාව ගම්‍ය වනුයේ

ශ‍්‍රී ලංකාවෙන් පවා ටාං රාජසභාවට දූත පිරිස් පැමිණි බවට චීන ඉතිහාස ග‍්‍රන්ථ තුළ සඳහන් වීම තුළින්ය. එහිදී ලාංකේය දූත පිරිස් චීන අධිරජුට පඬුරු වශයෙන් මුතු, කැටයම් දැමූ රත්තරං, මැණික්, ඇත්දත්, ලොවිච්චි සහ සිනිදු ලොම් රෙදි ආදිය යවා ඇති බවට වාර්තා වේ. නමුත් ටාං යුගයේ අවසාන භාගයේ එනම් ක‍්‍රි.ව. 878 පමණ පසුව ෂ්වැන්-චබ් නම් චීන කැරලිකරුවා කැන්ටන් වරාය කොල්ලකා එහි පදිංචි වී සිටි විදේශීය වෙළෙඳ පිරිස් ඝාතනය කිරීම හේතුවෙන් කැන්ටන් වරාය සුළු කාලයකට වසා දැමීමට පවා චීනයට සිදුවිය. මෙලෙස ආක‍්‍රමණ එල්ල වීමට ද මෙම වරාය ආශ‍්‍රිතව වූ වෙළෙඳාම සහ ආර්ථික වශයෙන් වූ සමෘධිය හේතු වී ඇත. එබැවින් චීන පඬුරු වෙළෙඳාම ආශ‍්‍රිත ක‍්‍රියාකාරීත්වය මෙමගින් තරමක් අභියෝගයට ලක් වූ බව හඳුනාගත හැකිය.

ඉන් පසුව ක‍්‍රි.ව. 9-10 වැනි සියවස් තුළදී ටාං රාජවංශයේ පරිහාණියත් සමඟ එනම් ක‍්‍රි.ව. 907-960 අතර කාලයේ චීනයේ දේශපාලන වශයෙන් දැඩි ව්‍යාකූලත්වයක් ඇතිවන අතර වසර 50 ක පමණ කාලය තුළදී පෙළපත් 5 ක් පමණ රාජ්‍යය බලය මෙහෙයවා ඇත. නමුත් ජා ඕ-කුවාං-යින් යටතේ සුං නමැති රාජවංශය ආරම්භ වීමත් සමඟ නැවත උතුරු හා දකුණු චීනය ඒකාබද්ධ කරමින් විශාල භූමි

භාගයකට බලය ව්‍යාප්ත කිරීමේ හැකියාව උදාවිය. එබැවින් සුං පාලකයන් යටතේ වෙළෙඳාම සීග‍්‍රයෙන් දියුණු වී ඇති අතර මෙකල වූ වෙළෙඳාමේ දියුණුව හේතුවෙන් පෞද්ගලික නාවික යාත‍්‍රාවලට බලපත‍්‍ර ක‍්‍රමයක් ද හඳුන්වා දී ඇත. මෙලෙස චීන පඬුරු වෙළෙඳාම පුළුල් වීමත් සමඟ වෙළෙඳුන් ශ්‍රේණි වශයෙන් සංවිධානය වී ඇති අතර එම ශ්‍රේණි ‘හං’ යන නාමයෙන් හඳුන්වා ඇත. ඒ අනුව පටපිළි, තේ, ධාන්‍ය හා ලුණු ආදී ද්‍රව්‍යය වෙළෙඳාම සම්බන්ධයෙන් මෙවැනි ශ්‍රේණි පැවතීම මෙන්ම එක්තරා බැංකු ක‍්‍රමයක පැවැත්ම ද සුං යුගය තුළදී ඇතිවීම චීන පඬුරු වෙළෙඳාමේ උච්ඡුතම අවස්ථාවකට පත්වීමක් වශයෙන් හඳුනාගත හැකිය.

ඒ අනුව ටාං යුගයේදී වඩාත් වර්ධනය වූ පඬුරු වෙළෙඳාම සුං යුගයේදී වඩාත් සංවිධිත අයුරින් ක‍්‍රියාත්මක වී ඇති බව පැහැදිලි කරුණකි. එයට හොඳම නිදසුන වනුයේ මෙම පඬුරු වෙළෙඳාම මෙහෙයවීම සඳහා දෙපාර්තමේන්තු 3 ක් පිහිටු වීමය. එනම් පිළිවෙත් පාලන දෙපාර්තමේන්තුව, හමුදා ඒකකය සහ ආදායම් පාලන ඒකකය වශයෙනි. මේවා අතුරෙන් වැදගත්ම දෙපාර්තමේන්තුව වී ඇත්තේ පිළිවෙත් පාලන දෙපාර්තමේන්තුව වන අතර එමගින් චීනයට පැමිණෙන තනාපතීන් සඳහා නවාතැන් පහසුකම් ලබාදීම, චීන අධිරාජ්‍යයා බැහැදැකීමට පෙර පිළිපැදිය යුතු චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉගැන්වීම, තානාපතීන් ගෙනඑන ලද පඬුරු නිරීක්ෂණය කොට ඒවායෙහි වටිනාකම තක්සේරු කිරීම, ඔවුනට සංග‍්‍රහ කටයුතු කිරීම වැනි ඉතා වැදගත් කාර්යභාරයන් සිදුකොට ඇත. අනෙකුත් දෙපාර්තමේන්තු ද්විත්වය ද තමන්ට පැවති කාර්යන් වූ ආරක්ෂාව සැලසීම හා ආදායම් පිළිබඳ වාර්තා සැකසීම වැනි කාර්යන්හී නියළී ඇත. ඒ අනුව පෙනීයනුයේ මුල් කාලීනව ඉතා සරලව ආරම්භ වූ මෙම පඬුරු වෙළෙඳාම සුං යුගය වනවිට අධිරාජ්‍යයාට පවා පාලනය කරගත නොහැකි තරමට වර්ධනය වී ඇති ආකාරයකි.

ඒ අනුව වෙළෙඳාම අතින් සුං යුගය චීන ඉතිහාසයේ ඉතා වැදගත් අවධියක් වන අතර එය වඩාත් වැදගත් වනුයේ ගොඩබිම් මාර්ගවලට වඩා මුහුදු මාර්ග ඔස්සේ විදේශීය රටවල් සමඟ වෙළෙඳ සබඳතා පවත්වා ගැනීමට කටයුතු කිරීම හේතුවෙනි. මෙලෙස ඇති වූ විදේශීය වෙළෙඳාමේ වර්ධනය හේතුවෙන් දකුණු චීනය ආශ‍්‍රිත වෙරළාසන්න ප‍්‍රදේශයේ වෙළෙඳාමේ සීග‍්‍ර වර්ධනයක් ඇති වූ අතර වරාය මධ්‍යස්ථාන 09 ක් පමණ සක‍්‍රීය විය. මෙකල ඇති වූ ආර්ථික වර්ධනය කොතරම්ද යත් අරාබි ජනපද චීනය ආශ‍්‍රිතව පිහිටුවාගෙන සිටි බවට වාර්තා වේ. ඒ අනුව මෙම යුගයේදී වඩාත් සමෘධිමත් වූ පඬුරු වෙළෙඳාම පිළිබඳව රචිත සවිස්තරාත්මක විස්තර ඇතුළත් වූ ජූ-ෆන්-චිහ් (ක්‍යම-ත්‍්බ-ක්‍යසය) නම් ග‍්‍රන්ථය චා ඕ-ජූ-ගුවා (ක්‍ය්ද-න්‍ම-ණම්) නම් කතුවරයා විසින් රචිත වැදගත් ග‍්‍රන්ථයක් වේ. එසේම ශ‍්‍රී ලංකාව ඇතුළු බොහෝ ආසියානු කලාපීය රටවලින් සුං යුගයට අයත් චීන කාසි හා පිඟන් භාණ්ඩ හමුවීම තුළින් සමකාලීන අවධියේ සමෘධිමත් වෙළෙඳ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය.

ඉන් පසුවද එනම් ක‍්‍රි. ව. 10 වැනි සියවසින් පමණ පසුව ක‍්‍රි.ව. 13 වන සියවස පමණ වනවිට මෙම චීන පඬුරු වෙළෙඳාම වඩාත් දියුණු වී ඇති අතර සුං රාජවංශික බලය මැඩලා ක‍්‍රි.ව. 1279 දී බලයට පත් කුබ්ලයිකාන් අධිරාජ්‍යයා යටතේ ඇතිවන යුවැන් රාජවංශය යටතේ ද මෙම වෙළෙඳ ක‍්‍රියාවලිය අඛණ්ඩව ක‍්‍රියාත්මක වන ආකාරයක් හඳුනාගත හැකිය. උදාහරණ වශයෙන් ක‍්‍රි.ව. 1273, 1284, 1291 සහ 1293 යන වර්ෂවලදී චීන දූත පිරිස් ලංකාවට පැමිණීම පෙන්වා දිය හැකිය. මෙලෙස ක‍්‍රි.පූ. 2-1 වැනි සියවස්වල සිට ක‍්‍රි.ව. 13 වැනි සියවස පමණ දක්වා ක‍්‍රමානුකූලව වර්ධනය වූ මෙම පඬුරු වෙළෙඳාම, ක‍්‍රි.ව. 7 වැනි සියවසෙන් පමණ පසුව වඩාත් සමෘද්ධිමත් තත්ත්වයකට පත් වී ඇත. ඒ අනුව මුල් කාලීනව චීන අධිරජුගේ හා ඔහුගේ නිලධාරී පැලැන්තියේ සංකල්පීය රාමුවක් තුළින් බිහිවන මෙම උපායශීලී වෙළෙඳ ක‍්‍රියාකාරීත්වයේ බිහිවීමට චීන කොන්ෆියුසියස් ධර්මයේ ඉගැන්වීම් තුළින් වූ වෙළෙඳාම නුසුදුසු ක‍්‍රියාවක්ය යන මතවාදය හේතු වූ බවට හඳුනාගත හැකිය. නමුත් ප‍්‍රබල රාජවංශයන් බලයට පැමිණීම, ගොඩබිම් හා මුහුදු සේද මාවත්වල වර්ධනය, බුදු දහමේ බලපෑම වැනි සාධකයන් තුළින් මෙම චීන පඬුරු වෙළෙඳාම වඩාත් වර්ධනීය තත්ත්වයකට පත්වන ආකාරයක් හඳුනාගත හැකිය. මෙලෙස පෙර අපර දෙදිග යාකරමින් ශතවර්ෂ ගණනාවක් පැවති චීන පඬුරු වෙළෙඳාම ක‍්‍රි.ව. 15-16 වැනි සියවස්වලදී යුරෝපා ජාතීන්ගේ ආගමනයත් සමඟ අභියෝගයට ලක් වී ඇත.

ප‍්‍රභාත් වික‍්‍රමරත්න
ඉතිහාසය අධ්‍යයන අංශය,
ශාස්ත‍්‍ර පීඨය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment