පෙළපාලිවල ළමයින්  ගෙන යෑම වළක්වන්න – ජනපතිගෙන් පොලිසියට උපදෙස්

101

 දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාලිවලට ගෙනයෑම රටේ නීතිය අනුව ද බරපතළ වරදක් බැවින් කුඩා දරුවන් පෙළපාලිවලට රැගෙන යැම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොලිසියට උපදෙස් දුන්නේය.

 ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ඊයේ (12දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

 “ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන් සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සාමාජීය වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ ශුභසිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුක්තව වර්ධනය කළ යුත්තේය” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන වගන්තියේ 13 වන උප වගන්තිය යටතේ ඇති කරුණු සිහිපත් කළ ජනාධිපතිවරයා දරුවන් ආරක්ෂා කර ගැනීම රජයක ප්‍රමුඛ වගකීම බව කීවේය.

 ශ්‍රී ලංකා පොලිසියට සහ ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් වන ආයතනවලට දරුවන් සුරැකීම සම්බන්ධයෙන් වන වගකීම් පැවරීමට ද මෙහිදී පියවර ගැනිණි.

 ළමයින් ලිංගික කටයුතු සඳහා යොදා ගැනීමට එරෙහිව සහ ළමුන්ගේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතක් කඩිනමින් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ඇතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නීතිපතිවරයා සමග ද සාකච්ඡා කර ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට හෙතෙම උපදෙස් දුන්නේය.

 නීතිවිරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වීමට යෑමේදී අත්අඩංගුවට පත්වූ පිරිස අතර සිටින දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කර රැඳවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා එය වහාම නිවැරදි කර දරුවන් දෙමාපියන් සමග තැබීමට කටයුතු කරන ලෙස ද දැනුම් දුන්නේය.

 ළමා නිවාසවල සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කෙරුණු අතර ළමා නිවාසවල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හඳුනා ගනිමින් ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නිලධාරීන්ට දැන්වීය.

 ළමා නිවාස භාරව කටයුතු කරන පාලක පාලිකාවන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවය ගැන පැවසූ ජනාධිපතිවරයා එමගින් එම දරුවන්ට මුහුණදීමට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් මග හරවා ගක හැකි බව ද පැවසීය.

 කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා හා රේඛීය ආයතනවල රාජ්‍ය නිලධාරීහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment