පේමන්ට් වෙළෙඳාම, මිනිස්කම සහ අමනුස්සකම

558

උත්සව සමය තුළ ඕනෑම අයෙකුට මහාමාර්ගය දෙපස භාණ්ඩ අලෙවි කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අප්‍රේල් 01 වැනිදා සිට අප්‍රේල් 12 වැනිදා දක්වා එම අවසරය හිමිවන බව ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කර තිබේ. පාරේ යන එන පදිකයන්ට අනුව මේ තීරණය ප්‍රතිගාමී තීරණයකි. එහෙත් එදාවේල හොයාගෙන කන පේමන්ට් වෙළෙඳුන්ට අනුව මේ තීරණය ප්‍රගතිශීලී තීරණයකි. පේමන්ට් වෙළෙඳුන් මේ වැඩේ චොරකර ගන්නේ නැතිනම් දිගටම වුව ක්‍රියාත්මක කළ හැකි බව අපගේ මතය වේ. උත්සව සමය තුළ මහජනයාගේ අතේ කවරාකාරයෙකින් හෝ මුදල් ගැවසෙනවා ඇත. මෙසේ ගැවසෙන මුදල් ආදායම් බදු, වරිපනම් බදු යනාදිය ගෙවන සාප්පුකාරයන් අතට යනවාට වඩා එදාවේල ටුවර්ස් කරන පදික වෙළෙඳුන් අතට යෑම එක් පැත්තකින් යහපත් ය. පදික වෙළෙන්දා යනු ඉතාම අනාරක්‍ෂිත ජීවිතයක් ඇති කෙනෙකි. රජයේ සහ පෞද්ගලික අංශයේ ස්ථිර රැකියාවල නියුතු වෙමින් මාසික වැටුපක් ලබන ආරක්‍ෂිත ශ්‍රමිකයන් මෙන් ස්ථාවර භාවයක් පේමන්ට් වෙළෙන්දාට නැත. ඔහුට වැස්ස දාට බිස්නස් නැත. ගිනිගහන්න පායන දාට ද ඔහුට බිස්නස් එකක් නැත. මාසයේ මැද දවස්වල ද ඔහුට බිස්නස් එකක් නැත. පේමන්ට් වෙළෙන්දාට ස්ථිර ආදායමක් ඇත්තේ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට සැලරි ඇඩ්වාන්ස් ලැබෙන 10 වැනිදා සහ 12 වැනිදා යන දවස්වලත්, එකී ශ්‍රමිකයන්ට පඩි ලැබෙන 23 වැනිදා සිට 26 වැනිදා දක්වා වූ කාල වකවානුව තුළ ය. ඊට අමතරව රටේ කළබලයක් තිබුණොත් ඔවුන්ට බිස්නස් නැත. මිලියන ගණනින් උපයන දොස්තරලා හෝ ඛනිජ තෙල් සංස්ථාවේ අය හෝ නගර සභාවේ අය හෝ වැඩ වර්ජනයක් කළහොත් එදිනට ද ඔවුන්ට බිස්නස් කර ගැනීමට නොහැක. ඊට අමතරව පොලිසියට පගාව දීමට බැරි වුණොත් ඔවුන්ට බිස්නස් කර ගැනීමට බැරිය. දැන් එන්නේ වඩාත් භයානක අවස්ථාවයි. එනම් පේමන්ට් වෙළෙඳුන්ගෙන් කප්පම් ගන්නා කප්පම් ජාලයක් පිටකොටුවේ තිබේ. මෙය පිටකොටුවේ පමණක් නොව හැම විශාල නගරයටම පොදු වූ කාරණයක් බව අපි විශ්වාස කරමු. මේ කියන කප්පම් ජාලයට කප්පම් හොයාගැනීමට බැරිවූ දවසට ද ඔවුන්ට බිස්නස් නැත. පේමන්ට් වෙළෙන්දා බිස්නස් කළ යුත්තේ හැංගිමුත්තන් කෙළින්නාක් මෙනි. පොලිසිය එන විට ද ඔවුන් දුව යා යුතුය. එසේම සල්ලි පොලියට දෙන එකා එන විට ද ඔවුන් සැඟවිය යුතුය. කප්පම්කාරයා එන විට ද ඔවුන් සැඟවිය යුතුය. සාමාන්‍යයෙන් පේමන්ට් වෙළෙන්දන් සිය කුඩා වෙළෙඳසල් හෙවත් තට්ටු වෙනුවෙන් නගර සභාවට කුලියක් ගෙවිය යුතු වේ. මේ තට්ටුවලින් වැඩි හරියක් අයිතිය තිබෙන්නේ පාතාල සාමාජිකයන්ට ය. මේ තට්ටුවක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු කුලිය මාසයකට රුපියල් දාහක් නම් පාතාලකාරයා එම තට්ටුව පේමන්ට් වෙළෙන්දාට කුලියට දෙන්නේ රුපියල් දෙදහසකට ය. මේ රටේ පේමන්ට් වෙළෙන්දෝ මේ ආකාරයෙන් අපහසුවට ලක්ව අපහරණය වෙමින් සිටින පිරිසක් වෙති. ලෝකයේ හැම රටකම පේමන්ට් වෙළෙඳ ව්‍යාපාර තිබේ. ඉන්දියාවේ නවදිල්ලිය, චෙන්නායි ඇතුළු හැම ප්‍රධාන නගරයක්ම විශාල පදික වෙළෙඳ යාන්ත්‍රණයකින් පිරී පවතී. ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ ද පේමන්ට් වෙළෙන්දෝ සිටිති. නිව්යෝර්ක් නගරයේ තිබෙන සාප්පුවල ඇති බ්‍රෑන්ඩඩ් බඩුවල ව්‍යාජ නිෂ්පාදන ඉතාම අඩු මිලට පේමන්ට් එකෙන් ලබා ගැනීමට පුළුවන. මේ සියලු කරුණු අනුව පේමන්ට් වෙළෙඳුන්ට මඟ දෙපස වෙළෙඳම් කිරීමට ඉඩදීම සඳහා ආණ්ඩුව ගෙන ඇති තීරණය ඉතා යහපත් බව අපි කියමු.

දැන් මේ කතාවේ අනෙක් පැත්ත ගැන විවරණයක් කරමු. මේ රටේ පදික වේදිකාවේ වෙළෙඳාම් කරන ජනයාගෙන් සෑහෙන පිරිසක් පල් හොරු ය. ඔවුන් පේමන්ට් එක පාවිච්චි කරන්නේ තමන්ගේ ගෙදර නිදන කාමරය හෝ සාලය ලෙස ය. එකී පල් හොර වෙළෙන්දෝ පේමන්ට් එකේ යනෙන කාන්තාවන්ට විවිධ වනචර විහිළු කරති. ඊට අමතරව තරුණියන්ගේ අතින් අල්ලා පශ්චාත් භාගය හෝ ඉදිරිපස ස්පර්ශ කරති. මෙවැනි අයට සෙරෙප්පුවලින් හෝ කුඩෙන් පහර දීම සඳහා තරුණියන් කිසිසේත්ම බිය විය යුතු නැත. කුඩ පහර එල්ල කළ සැණින් අදාළ වලත්තයා වාෂ්පීකරණය වෙයි. මේ තත්ත්වය බලගැන්වීමට නම් පේමන්ට් වෙළෙඳුන් අතරට සිවිල් පොලිස් නිලධාරීන් ද යෙදවිය යුතු බව අපගේ යෝජනාව වේ. මක්නිසාද යත් යම් හෙයකින් තරුණියක් වෙතින් එල්ලවල කුඩ පහරකට හෝ කම්මුල් පහරකට එරෙහිව පේමන්ට් වෙළෙන්දා ආයුධයක් අතට ගත්තොත් ඔහු අත්අඩංගුවට ගෙන සංග්‍රහයට ලක්කිරීමේ අවස්ථාවක් ඇතිවිය යුතුය. ඒ අවස්ථාව උදාකළ යුත්තේ පොලිසිය විසින් මිස සිවිල් ජනතාව විසින් නොවේ. එසේම පාර දෙපස වෙළෙඳාම් කරන ලෙස අවසර ලැබුණු වහාම පාර මැදට ද පැමිණ වෙළෙඳාම් කිරීමට පදික වෙළෙඳුන් පටන් ගන්නවා ඇත. මෙහිදී මහමඟ රිය පදවන රථාචාර්යවරුන් සමඟ ගුටිකෙළිවලට යෑමට පේමන්ට් වෙළෙඳුන්ට සිදුවේ. ප්‍රයිවට් බස් කාරයෙක් පාර මැද බස් එක නතර කර පේමන්ට් වෙළෙඳුන් සමඟ රණ්ඩුවක් පටන්ගත්තොත් පිටකොටුවේ බෝගහ ළඟ සිට යූනියන් ප්ලේස්එක දක්වාම ට්‍රැෆික් ජෑම් එකක් හැදෙන බව අප මතක තබා ගත යුතුය. එසේම උත්සව සමයේදී පදික වෙළෙඳාම පුළුල් වී ජනහගනය බහුල වූ විට ගැටකපන්නන් ද සිංහල අවුරුදු කෑම සඳහා කීයක් හෝ සොයා ගැනීමට මහපාරට එනවා ඇත. මේ කියන ගැට කපන්නාට ද වෙනම අයිතිකාරයෙක් සිටී. ගැටකපන්නන් සියලුම දෙනා තමන් සොරකම් කළ මුදල් පසුම්බි රැගෙන සවස් කාලයේදී ස්වකීය හිමිකරුවා මුණගැහෙන අතර එහිදී පර්ස්වල අඩංගු මුදල් ගැටකපන්නන් සියලුදෙනා අතර බෙදී යෑම සිදුකෙරේ. එසේම ගැටකපන්නන්ගේ හිමිකරුද එයින් කොමිස් මුදලක් අය කරයි. ගැටකපන්නා පොලිසියට කොටු වූ විට පොලිසියට පගා දීම හෝ උසාවියට ඇප මුදල් ගෙවීම සිදුකර ගැටකපන්නා බේරා ගන්නේ මේ කියන හිමිකරුය. ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශයට පත්කළ ප්‍රගතිශීලී තීරණයෙන් පසු මතුවන ප්‍රශ්න අප දකින්නේ ඉහත සඳහන් ආකාරයෙනි. පේමන්ට් වෙළෙඳුන් අතර හොඳ මිනිස්සුද සිටිති. ඒ අතර පල් හොරුද වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment