පේරාදෙණියේ ඉංජිනේරු ශිෂ්‍ය නුවන් ලක්‍ෂිත මහවැලියට බිලිවෙයි  

1771

ලැප්ටොප් පරිගණකය, හැඳුනුම්පත් සහ ලියකියවිලි රැසක් ගං ඉවුරෙන් හමුවෙයි

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ලංකාවේ ඉහළම අධ්‍යාපන පීඨයක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් ලබාගත් දැණුම රටේ ප්‍රධානතම ගංගාව වූ මහවැලි ගඟට පුදකළ ශෝකජනක පුවතක් ඉකුත් සති අගදී වාර්තාවිය.

ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර ඉංජිනේරු ශිෂ්‍ය නුවන් ලක්‍ෂිත දේවසුරේන්ද්‍ර මහතාගේ මළසිරුර මහනුවරට ආසන්න මහවැලි ගඟේ හක්කිඳ ප්‍රදේශයේ දූපත් අතරින් ගොඩ ගැනීමෙන් පසු අනාවරණය වූ තොරතුරුවලිනි.

නුවන් ලක්‍ෂිත දේවසුරේන්ද්‍ර 24 වැනි වියෙහි පසුවිය. ඔහු ඇහැළියගොඩ බුලුගහපිටිය ගමේ පදිංචිකරුවෙකි. අධ්‍යාපන කුසලතාවෙන් ගමේ සිට කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළුවී අධ්‍යාපනය ලැබුවේය.

උසස් පෙළ ඉහළ ලකුණු ලබා ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළුවී අධ්‍යාපනය ලබා ගැනීමට ඔහු වරම් ලැබුවේය. ඒ විරල අවස්ථාවට අනුව වසර දෙකක්ම ඔහු ඉංජිනේරු තාක්‍ෂණය ඉගෙනුම ලබමින් සිටියේය.

මැනවින් අධ්‍යාපනය ලබමින් පවිත්‍ර ශිෂ්‍ය ජීවිතයක් ගත කරමින් සිටි නුවන් ලක්‍ෂිත දේවසුරේන්ද්‍ර ජීවිතය පිළිබඳව ශෝචනීය තීරණයකටය එළඹියේය. එම තීරණය ක්‍රියාත්මක කිරීමට අගෝස්තු 26 වැනිදා තෝරා ගත්තේය.

තමන් සතු වටිනා භාණ්ඩ කීපයක් ගමන් මල්ලක බහාගෙන සරසවි භූමියෙන් පිටත්විය.

ලැප්ටොප් කොම්පියුටරය, පාවහන් ජෝඩුව, හැඳුනුම්පත් ඇතුළු භාණ්ඩ රැසක් ගමන් මල්ලේ පුරවාගෙන හිරු අවරට හැරුණු මොහොතේ පේරාදෙණිය මහ පාලම අසලට ගමන් කළ දේවසුරේන්ද්‍ර ඉංජිනේරු ශිෂ්‍යායා ගං ඉවුරේ නතර විය.

ගමන් බෑගය ගං ඉවුරේ තබා පාලම මතින් එහා මෙහා යන මිනිසුන් කිසිවිටකත් බලාපොරොත්තු නොවූ පරිදි තරුණ ලක්‍ෂිත මහවැලි ජලකඳට පැන්නේය. වැසි ජලයෙන් පිරී ගොස් තිබුණු මහවැලියේ ජලකඳ ලක්‍ෂිත සඟවා ගෙන ක්‍ෂණිකවම රැගෙන ගියේය.

පොලිස් හා නාවික කිමිදුම්කරුවන් යොදා ලක්‍ෂිත සොයා ගැනීමට පේරාදෙණිය පොලිසිය ගත් උත්සාය මහවැලිගඟේ ගසාගෙන ගියේය.

පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක විජිත විජේකෝන් මහතා ඇතුළු සිය නිලධාරි කණ්ඩායම දිගින් දිගටම මෙහෙයුම දියත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලක්‍ෂිත දේවසුරේන්ද්‍රගේ මළසිරුර පේරාදෙණිය පාලම අසල සිට කිලෝ මීටර් දෙකක පණ දුර ගලා ගොස් හක්කිඳ නමැති ස්ථානයේ රැඳී තිබියදී සොයාගනු ලැබුවේය.

මහනුවර පොලිස් අධිකාරි නිපුණ දෙනිගම මහතාගේ උපදෙස් පරිදි ලක්‍ෂිත දේවසුරේන්ද්‍ර තරුණයාගේ මරණය පිළිබඳ විමර්ශනයක් සිදුවෙමින් පවතී.

සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment