පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අල්ලන්න නියෝග

329

12 දෙනෙක් තවදුරටත් රිමාන්ඩ්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පුත්‍රයාට පහර දී නිවසට අලාභහානි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරුද්ධ විදානගේ නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා ඊයේ (22දා) නියෝග කළේය.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වී එම පහරදීම සිදු කිරීම හා පොදු දේපළවලට අලාභහානි කිරීම යන චෝදනා යටතේ පවරා ඇති එම නඩුව කැඳවූ අවස්ථාවේදී අනුරුද්ධ විදානගේ නමැත්තා එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනා ඊයේ (22දා) පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ අතර එහිදී පැමිණිල්ලේ සාක්‍ෂිකරුවෝ සිසුන් 6 දෙනා හඳුනා ගත්හ.

ඒ අනුව එම සැකකාර සිසුන් දොළොස්දෙනාම ලබන ජනවාරි 4 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. සැකකාර සිසුන් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙසට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර සේනානායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් අගතියට පත් මහාචාර්යවරයා හා විශ්වවිද්‍යාලය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඇතුළු නීතිඥවරු එම ඇප ඉල්ලීමට දැඩි විරුද්ධත්වය දැක්වූහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment