පේරාදෙණිය සරසවියේ ලේඛකාධිකාරී ඇතුළු 3ක් සේවයෙන් ඉවතට

330

සිය නිවස අලූත්වැඩියාව සඳහා රාජකාරි වේලාවේ විශ්වවිද්‍යාල සේවකයන් කැටුව ගිය බවට චෝදනා මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී, වැඩ ඉංජිනේරු සහ වැඩ අධිකාරිවරයා යන තිදෙනා සේවයෙන් නෙරපා හැරීමට විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කර තිබේ.

මෙලෙස සේවයෙන් නෙරපා ඇත්තේ සමන් රාජපක්ෂ, පුෂ්පික පණ්ඩිතරත්න සහ යූ. බණ්ඩාරනායක යන තිදෙනායි. ලේඛකාධිකාරීවරයාට අයත් පේරාදෙණිය ටිවර්ටන් ප‍්‍රදේශයේ පිහිටි නිවස අලූත්වැඩියාව සඳහා 2020 දෙසැම්බර් මස දිනෙක විශ්වවිද්‍යාල සේවක පිරිසක් රාජකාරි වේලාවේදී

යොදාගැනීමත්, විශ්වවිද්‍යාල වැඩ දෙපාර්තමේන්තුවට අයත් උපකරණ තොගයක් අනුමැතියකින් තොරව ලබා ගැනීමත් යන චෝදනා මත මෙම තිදෙනාට එරෙහිව පරීක්ෂණයක් සිදු කෙරිණි.

එදින විශ්වවිද්‍යාල සේවක පිරිස නිවස අලූත්වැඩියාවේ යෙදෙමින් සිටියදී රජයේ විගණන අංශ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් සිද්ධිය ඇසින් දුටු සාක්ෂි සහිතවම සටහන් කරගෙන තිබුණි. නමුත් චෝදනා ලත් පිරිස ඊට එරෙහිව කළ කරුණු දැක්වීමට අනුව විශ්වවිද්‍යාල පාලක සභාව මගින් පරීක්ෂණයක් සිදු කරනු ලැබීය. ඉංජිනේරුවා සහ වැඩ අධිකාරිවරයා විසින් විශ්වවිද්‍යාල පරිශ‍්‍රය කටයුතු සඳහා එදින යොමු කොට සිටි විශ්වවිද්‍යාල සේවක පිරිසක් ලේඛකාධිකාරිවරයාගේ නිවස වෙත යවා තිබෙන බව සටහන් පරීක්ෂාවලින් ද අනාවරණය වී තිබිණි. ඒ අනුව මොවුන් සේවයෙන් නෙරපා හැරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලක සභාව පියවර ගෙන ඇත. සේවයෙන් නෙරපාහරින ලද තිදෙනාම තනතුරුවලට අලූතින් පත්ව පරිවාස කාලසීමාවක් ගතකරමින් සිටි අය වෙති. විශ්වවිද්‍යාල වැඩ අංශයේ සේවයට වාර්තා කර ලේඛකාධිකාරිවරයාගේ පෞද්ගලික නිවසේ සේවයට ගිය සුළු සේවකයන් පස්දෙනා සම්බන්ධයෙන් ද මේ වන විට පරීක්ෂණයක් සිදුකරන බව විශ්වවිද්‍යාල පාලක සභා නියෝජිතයෙක් ප‍්‍රකාශ කළේය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment