පේරාදෙණිය හිටපු උපකුලපති සහ පුත්‍රයා තුවාල ලබා රෝහලේ

759

මෝටර් රියට යතුරුපැදි 2ක් යටවීමෙන් පසු සිසුන් සමග ඇති වූ ගැටුමෙන්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් සහ හිටපු උපකුලපතිවරයාගේ පුත්‍රයා අතර නිල නිවස ඉදිරිපිටදී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හිටපු උපකුලපති, අතුල සේනාරත්න සහ ඔහුගේ පුත් විදුර සේනාරත්න යන මහත්වරුන් ඊයේ (11දා) අලුයම ප්‍රතිකාර සඳහා මහනුවර හා පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දහවල් වන විටත් කිසිවකු අත්අඩංගුවට ගෙන නොතිබිණි.

හිටපු උපකුලපතිවරගේ පුත්‍රයා විසින් පැදවූ බව කියන මෝටර් රථයකට සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨය අසල ගාල්කර තිබූ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකුට අයත් යතුරු පැදි දෙකක් ගැටී සිදු වූ අනතුරක් මුල්කර ගෙන අරාවුල ඇති වී තිබේ. එම අවස්ථාවේ ඇති වූ නොසන්සුන්තාවකින් පසු මෙම පහර දීම සිදුකර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

හිටපු උපකුලපතිවරයාගේ පුත්‍රයා විසින් පදවන ලද මෝටර් රථයේ යතුරුපැදි දෙක ගැටීමෙන් පසු සිසුන් හා ඔහු අතර කතාබහක් ඇතිව තිබෙන අතර එම අවස්ථාවේ සිසුන් පිරිසක් තමන්ට පහර දුන් බව උපකුලපතිරයාගේ පුත් විදුර සේනාරත්න මහතා පොලිසියට පවසා ඇත.

විශ්වවිද්‍යාල සිසුන් 300 ක පමණ පිරිසක් පෙරේදා (10දා) රාත්‍රි 9.30 ට පමණ හිටපු උපකුලපතිවරයාගේ නිවස වටලා උද්ඝෝෂණයක් සිදු කොට ඇත. ඒ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරක් මත පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති, මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සහ ප්‍රධාන විනයාරක්ෂක නිලධාරීන් ඇතුළු කණ්ඩායමක්ද එහි පැමිණ සිසුන් පාලනය කිරීමට උත්සාහ කර ඇතත් එය අසාර්ථක වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු උපකුලපතිවරයාගේ පුත්‍රයා වැඳ සමාව ගත යුතු බව සිසුන් දැනුම් දුන් බවත් එම අවස්ථාවේ එවැන්නක් කළ හැකි තත්ත්වයක් නොතිබූ බවත් මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ විදුර සේනාරත්න මහතා බීමත්ව සිටියේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇත. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඒ මහතාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනකු යොදවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පේරාදෙණිය පොලිසිය විදුර සේනාරත්න මහතා පැදවූ බව කියන මෝටර් රථය සහ අනතුරට ලක්වූ බව කියන යතුරුපැදි දෙක පොලිස් භාරයට ගෙන ඇත.
සිරිල් විමලසුරේන්ද්‍ර – සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment