පේරාදෙණි සරසවි ලොක්කන් දෙදෙනකුගේ සේවය අත්හිටුවයි

932

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ සහ වැඩ දෙපාර්තමේන්තුවේ වැඩ පරීක්ෂකගේ සේවය අත්හිටුවා තිබේ.

ඔවුන් විසින් සිදු කරනු ලැබ ඇතැයි කියන රුපියල් කෝටි ගණනක මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සිදුකරන ලද පරීක්ෂණයට අනුව මෙලෙස සේවය අත්හිටුවා ඇත.

ක‍්‍රීඩා දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු සඳහා පවත්වා ගෙන ගිය බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 27ක පමණ මුදලක් අවභාවිත වී තිබෙන බව අනාවරණය වී තිබෙන අතර ඒ සම්බන්ධ පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබේ. මෙයට අමතරව ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහා ක‍්‍රීඩා භාණ්ඩ මිලට ගැනීමේදී විශාල අක‍්‍රමිකතා සිදුව තිබෙන බව හෙළිව ඇත. අදාළ ඒකකය සඳහා මිලදී ගත් ටේබල් ටෙනිස් මේස හයක් සඳහා මුදල් ගෙවීම් සිදුකර ඇතත් එම භාණ්ඩ විශ්වවිද්‍යාලයට ලැබී නොමැති බව දැන ගන්නට තිබේ. මෙම භාණ්ඩ මිලට ගෙන ඇත්තේ විධිමත් ලියාපදිංචියක් ඇති ක‍්‍රීඩා භාණ්ඩ අලෙවි ආයතනයකින් නොවන බව ද දැන ගන්නට ඇත. එය ක‍්‍රීඩා ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේම සේවකයකුගේ නමට ලියාපදිංචි කර තිබෙන බව වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වෙයි.

විශ්වවිද්‍යාලය වැඩ දෙපාර්තමේන්තුවේ තිබූ වටිනා දැව අඩි දෙසිය දෙකක් වංචනික ලෙස ගෙන විකිණීමට අදාළව සිදු කළ පරීක්ෂණ මත වැඩ පරීක්ෂකගේ වැඩ තහනම් කර ඇත. ඔහු විසින් අවස්ථා දෙකකදී වටිනා දැව වර්ග ලබාගෙන පිටතට විකුණා ඇති බවට තොරතුරු හෙළිවී ඇත.

මේ සම්බන්ධව කළ විමසීමකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඞී. ළමාවංශ මහතා ප‍්‍රකාශ කර සිටියේ විශ්වවිද්‍යාලයේ මූල්‍ය අවභාවිත වී තිබෙන සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබෙන බවත් ඒ සම්බන්ධව පරීක්ෂණ සිදු කරන බවත්ය. විශ්වවිද්‍යාලය සතු සියල්ල යෙදවිය යුත්තේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් බව ද ඒ හැර කවුරුන් හෝ තමන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය පිණිස විශ්වවිද්‍යාලයේ වැලිකැටයක් හෝ යොදවන්නේ නම් එය අවභාවිත කිරීමක් ලෙස තමන් සලකන බව ද ඊට නිසි දඬුවම් ලබා දීම තමාගේ වගකීම බව ද උපකුලපතිවරයා කියා සිටියේය.

සමන්ති වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment