පේසාලේ නොවිය යුතු මන්නාරමේ ද්‍රෝණිය!

1128

මෙරට තෙල් ගවේෂණය පිළිබඳව නව කථිකාවකට දැන් මුලපිරී තිබේ. අප රටේ මන්නාරම හා කාවේරි ද්‍රෝණියේ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල ඛනිජ තෙල් සම්පත් ගවේෂණය ඉලක්ක කර ගෙන එක්සත් රාජධානියේ බෙල් ජියෝස්පේස් ආයතනය ගුවන් යානයක් ද යොදා ගෙන ගුරුත්වාකර්ෂණ හා චුම්බක ක්ෂේත‍්‍ර දත්ත රැස් කිරීම පසුගියදා සිදු කළේය.

මන්නාරම් ද්‍රෝණියේ පමණක් බොරතෙල් බැරල් බිලියන 2 ක් පවතින බවත් තෙල් බැරලයක මිල ඩොලර් 75 ක් ලෙස ගණන් බැලූවොත් ඩොලර් බිලියන 150 ක් වටිනා තෙල් නිධි පවතින බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල සඳහන්කර තිබේ. එමෙන්ම ගෑස් සම්බන්ධයෙන් ද ගතහොත් ඩොලර් බිලියන 117 ක වටිනාකමක් එහි ඇති බව ද ඔහු පළකර තිබිණි. එමෙන්ම මන්නාරමේ එම් 2 කොටසේ ළිං හාරා කරන ලද ගවේෂණවලින් ගෑස් හා තෙල් තිබෙන බව හඳුනාගෙන තිබෙන බව පළ කළ ඇමැතිවරයා තෙල් ගවේෂණය ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් කරන්නට සිදුවන නිසා ලෝකයේ සිටින ප‍්‍රකට ආයෝජකයන්ට ඒ සඳහා අවස්ථාව ලබාදෙන බව ද කීවේය. මතුපිට සිට කිලෝ මීටර් 1 1/2 ක් ගියවිට හමුවන මුහුදු පතුලේ තවත් කිලෝ මීටර් දෙකක් ඇතුළට ගියවිට ගෑස් නිධි හමුවන බව ද ඇමැතිවරයා මාධ්‍ය වෙත සඳහන් කර තිබිණි.

පේසාලේ නොවිය යුතු මන්නාරමේ ද්‍රෝණිය!

මන්නාරම් ද්‍රෝණියේ තෙල් සිහිනය සැබෑ වුවහොත් එය අප රටේ ඓතිහාසිකම ආර්ථික ජයග‍්‍රහණයක් ලෙස සටහන් තැබෙන්නේය. ඛනිජ තෙල් පිළිබඳ එම සිහිනය සැබෑවනු දැකීම අපගේ ද පරම වූ අපේක්ෂාවයි. මේ කතාව අප ලියනුයේ මන්නාරම් ද්‍රෝණිය ගැන නොව ‘පේසාලේ’ සුප‍්‍රකට තෙල් පිළිබඳ එදා පළවූ සැබෑ නොවූ සිහිනයක කතන්දරය ඔබ හමුවේ තබන්නටය.

1970-1977 සමගි පෙරමුණු රජය සමයේ සිටි බලවත්ම ඇමැතිවරයකු වූයේ එවක අධිකරණ මුදල් ඇමැති පදවිය ද හෙබවූ පීලික්ස් ඩයස් බණ්ඩාරනායකයි. බණ්ඩාරනායක මහතා 1974 වසරේ මීගමුව කොට්ඨාසයේ පැවැති රැස්වීමක් අමතමින් මෙවැන්නක් කීවේය.

‘‘ළඟදී පේසාලේ තෙල් ළිඳෙන් අමුතෙල් ලබා ගන්නවා. අමුතෙල් ලැබුණාම කාගේ කාගේත් කටවල් වැහෙයි. ඒ දවස උදාවෙනකම් අපි බලාගෙන ඉන්නවා.’’

එම පුවත එකල (රජයේ) පුවත්පත්වල පොල් අකුරින් පළවූ බව මට මතකය. එමෙන්ම එවක රජයේ ඇමැතිවරු පිරිසක් නිලධාරීන් ද කැටුව විශේෂ ආරාධිතයන් පුවත්පත් කලාවේදීන් පිරිසක් ද රැගත් විශේෂ දුම්රියක් ද පේසාලේ බලා ගියහ. සමහරු සාදයන් ද භූක්ති විඳ ආපසු කොළඹ පැමිණියහ.

තෙල් හමුවීමේ පුවතින් උද්දාමයට පත්ව සිටි ඇතැමෙකු එදා කියූ සඳහනකි මේ.

‘‘තව මොනවද අඩු
මෙන්න බොලේ බඩු
යූඇන්පිය කුඩු
යමුද මචෝ මඩු’’

මෙසේ තිබියදී 1975 ඔක්තෝබර් මාසයේ දිනෙක ලංකා ඛනිජතෙල් සංස්ථාවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සේවක සංගමය එවක අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට විශේෂ ලිපියක් යැවීය.

පේසාලේ තෙල් පළහිලව්ව ගැන ඉන් ඉක්බිතිව බොහෝ පුවත්පත්වල හෙළිදරව් කර තිබිණි. එවක පළවු දිනපතා පුවත්පතක් එය වාර්තාකර තිබුණේ පේසාලේ තෙලේ බලේ පලේ පල්වෙයි ද? ලෙසිනි. ‘රිවිරැස’ පුවත්පතේ පසුවිපරමක් පත‍්‍රයේ මුල් පුවතින්ම වාර්තාකර තිබුණේ ‘‘පේසාලේ තෙලෙන් කෝටි හයක් දැලේ’’ යනුවෙනි.

‘රජ ලණු’ නිසා ආණ්ඩුවලට වන කැළල අදත් සිදු වන්නේය. රජ ලණු දෙන නිල දරුවන් මෙන් දේශපාලනඥයෝද වෙති. ‘රජ ලණු’ පිළිබඳ ඉතිහාසයේ ‘පේසාලේ’ තෙල් ආශ්චර්යට හිමිවනුයේ සුවිශේෂ තැනකි. එවකට පැවැති පාලනය තුළ 1975 වසර අවසානය වනවිට රුපියල් තුන් කෝටියක පාඩුවකට මුහුණ පෑමට සිදුවිය හැකි බවට වූ අනතුරු ඇඟවීමක්ද සමගින් සංගමය අගමැතිනිය වෙත යොමුකළ ලිපියෙන් පහත කරුණු ද දැඩිව අවධානයට යොමු කර සිටියේය.

පේසාලේ නොවිය යුතු මන්නාරමේ ද්‍රෝණිය!

පේසාලේ තෙල් ළිඳෙන් අමුතෙල් ලැබී ඇතැයි මහජනයා නොමඟ යවා රජය අපකීර්තියට පත්කිරීමට නිලධාරීන් රජ ලණුවක් දී ඇති බවත් ඔවුන් ගැන වහාම පරීක්ෂණයක් කරන්නැයි ද එමගින් අවධාරණය කළ තවත් කරුණකි.

ඊට අදාළව එහි පහත සඳහන ද විය.

පරීක්ෂණ සඳහා ගෙන එන ලද අමුතෙල් සාම්පලය පිළිබඳව සංස්ථාවේ ඉතා වගකිවයුතු නිලධාරීන් කීපදෙනෙකුගෙන්ම කරුණු පැහැදිලි කර ගැනීමෙන් පසු මෙම අමුතෙල් බවට ප‍්‍රකාශ කර පරීක්ෂා කර ඇත්තේ මන්නාරමෙන් ලැබණු තෙල් නොවන බව දැන් පැහැදිලි වී ඇත. සපුගස්කන්ද පිරිපහදු රසායනාගාරයේ විශේෂ පුහුණුවක් ලත් විශ්ලේෂකයන් යොදා මෙම ඊනියා අමුතෙල් සාම්පලය සංස්ථාවේ උසස් නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂා කරවන ලදී. එම පරීක්ෂණවලදී මේ තෙල් අමුතෙල් නොවන බවද, එය පිළිස්සුණු ලිහිසි තෙල් මඩ සහ වතුර සමග වූ මිශ‍්‍රණයක් බවත් පැහැදිලි වී ඇත. නමුත් අවාසනාවකට මෙන්, මෙම විද්‍යාත්මක පරීක්ෂණයේ ප‍්‍රතිඵල ලබා ගැනීමට ප‍්‍රථම එක්තරා රාජද්‍රෝහී පිරිසක් විසින් ශී‍්‍ර ලංකාවේ අමුතෙල් ලැබුණු බව ඇමැතිතුමාට දන්වා අනතුරුව ඒ පිළිබඳව පුවත්පත්වලට ප‍්‍රකාශන ද නිකුත් කරන ලදී. මෙම සාවද්‍ය තොරතුරු පුවත්පත්වලට හෙළි කිරීමෙන් පසු සංස්ථාවේ සමහර උසස් නිලධාරීන් ජාතිය මුළා කළා පමණක් නොව, ඔවුන්ගේ ඊනියා කාර්යක්ෂමතාවය තහවුරු කර ගැනීමට ද කි‍්‍රයා කරන ලද බව සංස්ථාවට රහසක් නොවේ.

ප‍්‍රථමයෙන් පරීක්ෂා කරන ලද සාම්පලය අමුතෙල් නොවන බව ස්ථිරවීමෙන් පසු, ව්‍යාකූල වූ සංස්ථාවේ එක්තරා උසස් නිලධාරියකු විශ්ලේෂණ කටයුතු පිළිබඳව කිසිදු සුදුසුකමක් නොමැති ඔහුගේ සගයෙකු ලවා මෙම ඊනියා අමුතෙල් සාම්පලය නැවත පරීක්ෂණයට භාජනය කර ඇත. මෙය කොළොන්නාව රසායනාගාරයේදී සිදුකර ඇති අතර, එම පරීක්ෂණයේ වාර්තාව අනුව අමුතෙල් ඉතා උසස් වර්ගයේ ඒවා බවට ව්‍යාජ වාර්තාවක් සකස් කර ඇත. මෙය රජයට විරුද්ධ ද්‍රෝහි කි‍්‍රයාවක් වශයෙන් අපි සලකමු. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ තෙල් ගවේෂණය භාරව කි‍්‍රයා කරනු ලැබූ සෝවියට් විශේෂඥයින් කිසිම අවස්ථාවක මෙම අමුතෙල් පරීක්ෂා කර නොමැතිවා පමණක් නොව ඒවා අමුතෙල් බව ස්ථිර වශයෙන් ප‍්‍රකාශ කර නොතිබීමත්ය. කෙසේ වෙතත් සංස්ථාවේ මේ පිළිබඳව වගකිවයුතු නිලධාරීන් ඔවුන්ගේ බොරුව වසන් කරගැනීම සඳහා ඔබතුමිය ඇතුළු රජයට වාර්තා මගින් හා පොදු වශයෙන් ජාතියටත් වරින්වර ප‍්‍රවෘත්ති ප‍්‍රකාශන ආදියෙන් අමුතෙල් පිළිබඳ අසත්‍ය තොරතුරු නොකඩවා ඉදිරිපත් කර ඇත.

මෙයට අමතරව සංස්ථාවේ උසස් නිලධාරියකු විසින් මන්නාරම සහ තදාසන්න ප‍්‍රදේශයේ අමුතෙල් ටොන් කෝටි 20ක් පමණ සොයා ගත හැකි බවට කැබිනට් පත‍්‍රයක් මගින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ඔබතුමිය ඇතුළු කැබිනට් මණ්ඩලය මුළාකර ඇති බව ද අප සංගමයට අනාවරණය වී තිබේ. මෙය පුද්ගලයකු විසින් රජය මුළා කිරීම සඳහා කර ඇති රාජද්‍රෝහි කි‍්‍රයාවක් වශයෙන් අපි සලකමු.

මෙම වටිනා ආයතනය විනාශ වීමෙන් වළක්වාලීම සඳහා සුදුසු පියවර ජාතියේ නාමයෙන් නොපමාව ගන්නා මෙන් ඔබතුමියගෙන් අප සංගමය ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

පේසාලේ තෙල් කතාවේ ඇත්ත හෙළිකරමින් එම සංගමය ලියූූ පුවත 1975 ඔක්තෝබර් 7 වැනිදා ‘‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනය එදා ප‍්‍රකාශිත ‘ලංකාදීප’ පුවත්පතේ මුල් පිටුවේ ප‍්‍රධාන සිරස්තලය ලෙස පළවිය. ‘‘පේසාලේ බොරු තෙල් ප්‍රෝඩාවේ රහස් හෙළි කරති’’ ‘නිලධාරීන්ගේ රජ ලණුවක්’ යන ප‍්‍රධාන සිරස්තලය හා අනු සිරස්තලය ද එහි විය.

පේසාලේ තෙල් ප්‍රෝඩාව ගැන හෙළිදරව් කරන මාධ්‍ය පිටුපස රජය ලූහුබැඳ යන්නට පටන් ගත්තත් ඔවුනගේ කි‍්‍රයාව නිසා එවක ‘අගමැතිනිය’ මහත් කලකිරීමකට හා ලජ්ජාවකට පත්ව සිටි මොහොතකය. ‘මැතිනිය’ සිද්ධියේ ඇත්ත දැනගන්නා විට ‘පෙරහර’ බොහෝදුර ගොස් තිබිණි. අපේ පොළොවෙන් තෙල් ලැබීම පිළිබඳව මහජනතාව උද්දාමයට පත්ව සිටි බව ඇය හොඳටම දැන සිටියා ය. එවක රජයේ ඇතැමුන් මේ අතර කි‍්‍රයාත්මක වූයේ තෙල් ප්‍රෝඩාව හෙළි කරන මාධ්‍යයට දඬුවම් කරන්නට, ඔවුන්ගේ කටවල් වසා දමන්නටය. (එය පිටුපස එක ඇමැතිවරයකු හා නිලධාරීන් පිරිසක් ද විය) මෙම සිද්ධියට මුහුණ පෑ එක් පුවත්පතක් රජයේ නිවැරදි කිරීමක් ද එකල පළ කළේය. මේ අතර එම පුවත ඊටත් තම පුවත්පතක හෙළිදරව් කළ දැනට ජීවතුන් අතර නැති එවක ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරයකු වූ ගුණදාස ලියනගේ මහතාට ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණේ ද එවක රජයේ ඉහළ අණ පරිදිය. ඒ වනවිට දවස පුවත්පත් ආයතනයේ කර්තෘ පදවියෙන් ඉවත්ව ලියනගේ මහතා තම කර්තෘත්වයෙන් සිංහ කොඩිය නමින් පත්තරයක් පළ කරමින් සිටියේය.

කලක් දවස පුවත්පතේ මාධ්‍යවේදියකුව සිටි ඞී. සී. සතරසිංහ මහතා ලියනගේ මහතාට තෙල් කතාව මුලින්ම සැලකර තිබුණේ 1975 අපේ‍්‍රල් මාසයේදීය.

මේ පිළිබඳව ගුණදාස ලියනගේ මහතාට හෙළිදරව් කළේ ඔහු ලියූ ලංකාවේ පත්තර මෙල්ල කිරීම කෘතියෙනි. ගුණදාස මහතා තම අත්විඳි සිද්ධිය පැවැසූ අයුරු ඔහුගේ වචනවලින්ම මෙලෙස පෙළ ගස්වමු.

කලක් ‘දවස’ වාර්තාකරුවකුව සිටි ඞී. සී. සතරසිංහ ‘පේසාලේ තෙල් කතාව’ ගැන මට කීවේ 1975 අපේ‍්‍රල් මාසයේ අග හරියේදීය. ඒ කතාව කුමක්දැයි යන්න ගැන කෙටි හැඳින්වීමක් කිරීම අවශ්‍යයි මම සිතමි.

ලංකාවේ උතුරුකරයේ මුහුදේ සහ ගොඩබිම තෙල් උල්පත් තිබුණු බවට පැවැති විශ්වාසය අනුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව හෙවත් ‘පෙට‍්‍රල් සංස්ථාව’ මගින් උතුරේ තෙල් ගවේෂණ කටයුතු ආරම්භ කරන ලද්දේ 1967 ඩඞ්ලි සේනානායක මහතාගේ එජාප ආණ්ඩුව සමයේය. ප‍්‍රංශ සමාගමක් මගින් අරඹන ලද ගවේෂණ කටයුතු 1970 දී එජාප ආණ්ඩුව පරාජය කරමින් බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුත් එම ප‍්‍රංශ සමාගම දිගටම කරගෙන ගියේය. 1972 න් පසු තෙල් ගවේෂණ කටයුතු පිළිබඳ කොන්ත‍්‍රාත් කීපයක් තෙල් සංස්ථාව මගින් ‘ටෙක්නෝඑක්ස්පෝර්ට්’ නමැති රුසියාවේ රාජ්‍ය ආයතනයකට දෙන ලදී. කලින් ගවේෂණ කළ ප‍්‍රංශ සමාගමේ වාර්තා අනුව පේසාලේ අඩි 1500 ක් යටට හැරූවිට තෙල් උල්පත් මතුවිය හැකි බව කියා තිබුණත් අඩි 2500 ක් හෑරීමෙන් පසුත් සෝවියට් විද්‍යාඥයින්ට තෙල් උල්පත් සොයා ගැනීමට නොහැකි විය. තවදුරටත් කැණීම් කෙරෙන අතර පේසාලේ වැඩබිම භාරව සිටි සෝවියටි විශේෂඥයා දින කීපයක නිවාඩුවක් සඳහා මහනුවරට ගොස් සිටියේය. ඒ අතරතුර දිනක පේසාලේ වැඩබිමේ සේවක පරිපාලන කටයුතු භාරව සිටි ලාංකික නිලධාරියෙක් තෙල් ළිඳෙන් පොම්පකරන ලද මඩවතුරේ තෙල් පාවෙන බවක් දුටුවේය. දේශපාලන වශයෙන් වාමාංශිකයකු වූ ඔහු පස්වනක් පී‍්‍රතියෙන් පිනාගොස් මඩත් සමග තෙල් හිස් තීන්ත කුප්පියට එකතු කර ගත්තේය.

මොහොතක ප‍්‍රමාදයක් නැතුව කොළඹ තෙල් සංස්ථා මූලස්ථානයට රේඩියෝ පණිවුඩයක් එවමින් ‘පේසාලෙන් තෙල් සොයාගත් බව’ කියා සිටියේය.

1974 ජුලි 30 වැනි දින ඉංගිරිසියෙන් එවන ලද එම රේඩියෝ පණිවුඩය තෙල් සංස්ථාවේ සභාපතිගේ අත්සනින් යුතුව පුවත්පත්වලට නිකුත් කිරීම පිණිස සංස්ථාවේ පරිවර්තකයකු විසින් පහත සඳහන් ආකාරයට සිංහලට පෙරළන ලදී.

‘සිමෙන්ති කීලය අතරින් විදගෙන ගියවිට මඩ භ‍්‍රමණ වීමේදී සියුම් තෙල් පටලයක් මතුවිය. එය ශී‍්‍ර ලංකා බොරතෙල් බව සෝවියට් කණ්ඩායමේ ප‍්‍රධානියා ස්ථිර කරයි. විශ්ලේෂණය කිරීම සඳහා මෙහි සාම්පලයක් එකතු කරන ලදී.

රේඩියෝ පණිවුඩය ලබාගත් නිලධාරියා ඔහුට ඉහළින් සිටි නිලධාරියාට ‘පේසාලේ තෙල් ආරංචිය’ දීමෙන් පසු එය ටිකින්ටික ඉහළට ගොස් සංස්ථාවේ සභාපතිටද, සභාපති ඇමැතිටද, ඇමැති අගමැතිනියටද දැන්වූහ. ප‍්‍රවෘත්තිය වහාම පුවත්පත්වලටත් ගුවන්විදුලියටත් දෙන ලෙස නියම වූ අතර සාම්පලය ගෙන ඒම පිණිස සංස්ථාවේ නිලධාරියෙක් පේසාලේට පිටත් කර යවන ලදී. පේසාලේට ගිය නිලධාරියා ආපසු එන අතර ගලේවෙල කඩපලේ නතර වී රියැදුරාත් සමග තේ බීවේය. එසේ තේ බොන අතර රාතී‍්‍ර ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයෙන් කියවුණේ කුමක්ද? පේසාලේ තෙල් ළිඳෙන් බොරතෙල් මතුවී තිබුණු බව සහ ඒවා ඉස්තරම්ම වර්ගයේ බොරතෙල් බව පර්යේෂණවලින් ඔප්පු වී තිබුණු බවත්ය. එහෙත් ‘බොරතෙල්’ සහිත තීන්ත කුප්පිය ඒ වනවිටත් ගලේවෙලය.

කොළඹට ගෙන එනු ලැබූ තෙල් සාම්පලය පරීක්ෂණයට ලක් කළ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ රසායන විද්‍යාඥයාගේ නිගමනය වූයේ එහි සියයට 2ක් තෙල් සහ සියයට 98 ක් මඩවතුර තිබුණු නිසා නියත වශයෙන් බොරතෙල් නොවන බවය. එම විද්‍යාඥයාට හරිහැටි පරීක්ෂණයක් කරන්නට බැරි යැයි චෝදනා කළ සංස්ථා නිලධාරීහු කොලොන්නාවේ රජයේ කම්හලට යවා කුප්පිය පරීක්ෂණයට භාජනයට කළහ. එම පරීක්ෂණයේ නිගමනය වූයේ ද ඒවා තෙල් නොව වතුර බවමය. එහෙත් ඒ වන විට ලැබී තිබුණු විශාල ප‍්‍රසිද්ධියත්, දේශපාලනඥයන්ගේ ප‍්‍රතිකි‍්‍රයාත් නිසා වතුර කුප්පිය තෙල් බවට හැරවීම කෙසේ හෝ කළයුතුව තිබිණි. එය කෙසේ කරන ලද්දක්දැයි පැහැදිලි නැති නමුත් පේසාලෙන් ගෙන එන ලද සාම්පලය ඉතාමත් ඉහළ තත්ත්වයේ බොරතෙල් බවට වාර්තාවක් ලිපිගොනුවට රිංගවන ලදී. එම වාර්තාව තමාගේ පරීක්ෂණ පදනම් කර සකස් කරන ලද්දක් නොවන බව සංස්ථාවේ රසායන විද්‍යාඥයා පුනපුනා කීවත් එය කිසිවකු ගණන් ගත්තේ නැත.

අවුරුදු හැත්තෑපහකට ප‍්‍රමාණවත් තෙල් පේසාලේ ඇති බවත් වැඩිකල් නොගොස් ලංකාවෙන් තෙල් පිටරට යැවීමට හැකිවන නිසා ලංකාවට කිසිම විදේශ විනිමය ප‍්‍රශ්නයක් අනාගතයේදී ඇති නොවන බවත් ගුවන්විදුලිය සහ පුවත්පත් මගින් දිගින් දිගටම ප‍්‍රචාරය කරන ලදී. රජයේ පාලනය පිට පැවැති ලේක්හවුස් පුවත්පත්වලට වඩා ‘තෙල් ජයග‍්‍රහණය’ කරටගෙන අතිශයෝක්තියෙන් වාර්තා පළ කළේ ආණ්ඩුවට හේත්තු වී සිටි එවක ‘‘ටයිම්ස්’’ සමාගමේ පුවත්පත්ය.

මේ සියලූම ඝෝෂා සහ ප‍්‍රචාරවලින් ටික කලක් ගතවීයත්ම පේසාලේ තෙල් කතාව ක‍්‍රමයෙන් මහජනයාට අමතක කරවාලීමට ආණ්ඩුවත් සංස්ථාවත් උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබුණි.

‘පේසාලේ තෙල් පොරෝඩාව’ සම්පූර්ණයෙන් එළිදරව් කරමින් ඞී. සී. සතරසිංහ විසින් ලියන ලද වාර්තාව මගේ අතට පත්වූයේ මෙවන් තත්ත්වයක් පවතින අතරය. වාර්තාවේ සඳහන් කරුණු ගැන වෙනත් මාර්ගවලින් විපරම්කර බැලූ මට ඒ සියල්ල සත්‍ය බව පැහැදිලි විය. එය මුල්පිටුවේ ලොකු අකුරින් පළකළයුතු ප‍්‍රවෘත්තියක් නමුත්, ටිකක් හෝ සැර බාලවන අන්දමින් මැද පිටු දෙක පුරා විශේෂ ලිපියක් හැටියටපළ කළෙමි.එහෙත් එයට යෙදුවේ ප‍්‍රවෘත්ති සිරස්තලයකි. විශාල අකුරින් යොදන ලද එම සිරස්තලය මගින් ‘පේසාලේ තෙල් නැහැ’ කියා මම කෙලින්ම කීවෙමි. 1974 මැයි 1 වැනිදා ‘සිංහ කොඩියේ’ මම එය පළ කළෙමි. පේසාලේ තෙල් පොරෝඩාව ගැන පළ කළ කලාපයත් සමගම ‘‘සිංහ කොඩිය’’ ද නතර විය. ඊළඟට මට සිහිවූයේ චරිත ඝාතනයටත් රාජ්‍ය උදහසටත් මුහුණදීමටය.

1975 අගෝස්තු 5 වැනි අඟහරුවාදා සවස 2ට ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය ඉදිරියේ පෙනී සිටින ලෙස මට සිතාසි නිකුත් කරන ලදී. ශී‍්‍ර ලංකා ඛනිතෙල් නීතිගතත සංස්ථාවට විරුද්ධ අසත්‍ය ප‍්‍රවෘත්තියක් ‘සිංහ කොඩිය’ පත‍්‍රයේ පළකිරීම මට විරුද්ධව නඟා තිබුණු චෝදනාවය. මා පළකළ දේ සියයට සියයක්ම හරි වුවත් ඒ බව ඔප්පු කිරීමට ක‍්‍රමයක් මට තිබුණේ නැත. පුවත්පත් මණ්ඩල පනත ද මට කටපාඩමින් මෙන් මතක තිබුණු නිසා මට දියහැකි දඬුවම් ගැන ද මම දැනසිටියෙමි. මම තනිවම පුවත්පත් මණ්ඩලය ඉදිරියේ පෙනී සිටියෙමි. විලියම් ද සිල්වා මහතා මණ්ඩලයේ සභාපති විය. තෙල් සංස්ථාව වෙනුවෙන් පෙනීසිටියේ එහි නීති උපදේශක සිවම් මහතාය.

පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයකුව සිටි රිජ්වේ තිලකරත්න මහතා මා හොඳ හැටි දැන හැඳිනගෙන සිටි පුද්ගලයකු වුවත් රාජකාරි කටයුතුවලදී ඔහු නිතරම වගේ මා සමග හරහට සිටි අයෙක් විය. එහෙත් ඒ දීර්ඝ විභාගයකින් පසු. අන්තිමේදී ලියුමක් සිවම් මහතා විසින් කෙටුම්පත් කරන ලදී. එහි සම්පූර්ණ දෝෂාරෝපණය පවරා තිබුණේ සතරසිංහටය. කලක් ‘දවස’ පුවත්පතේ වාර්තාකරුවකුව සිටි සතරසිංහට දොස්පැවරෙන කොටස ඉවත්කර සම්පූර්ණ වගකීම මා වෙත පවරා ගනිමින් ලියුම පිළිගත් තෙල් සංස්ථාව මට විරුද්ධ නඩුව ඉල්ලා අස්කර ගත් බව සති කිහිපයකින් පුවත්පත් මණ්ඩලය මට ලිඛිතව දැන්වීය.

සැබැවින්ම අප මාතෘ භූමියේ වාසනාවට එදා තෙල් ලැබිණි නම් මේ කතාව ලියැවෙන්නේ වෙනත් ලෙසකින් නොවේද? මන්නාරම් ද්‍රෝණියට එසේ නොවේවා!

නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment