පේ‍්‍රක්‍ෂකාගාරයක් නැති නිසා අර්බුද රැසක් මතු වෙලා… චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ෂර්ලි සමරසිංහ

196

ෂර්ලි සමරසිංහගේ නවතම සිනමා නිර්මාණය තමයි පියාඹන්න ආයෙත්. පසුගියදා මෙම චිත‍්‍රපටයේ මාධ්‍ය දර්ශනය පැවැත්වුවා. එම දර්ශනයෙන් අනතුරුව ෂර්ලි අපත් සමග කළ කතාබහක පෙලගැස්මයි මේ.

පේ‍්‍රක්‍ෂකාගාරයක් නැති නිසා අර්බුද රැසක් මතු වෙලා...  චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ෂර්ලි සමරසිංහ

පියාඹන්න ආයෙත් සිනමා නිර්මාණය තිරගත කරන්න හදනව. ඒ ගැන මුලින්ම කතා කළොත්?

මම ගමන ආරම්භ කළේ කෙටි චිත‍්‍රපටකරුවෙක් හැටියට. පියාඹන්න ආයෙත් කියන්නෙ මගේ මුල්ම වෘතාන්ත චිත‍්‍රපටය. මේ චිත‍්‍රපටයේ රූගතකිරීම් සහ පසු නිෂ්පාදන කටයුතු සිදු කරල දැනට වසරකට ආසන්න කාලයන් වෙනව. අවුරුදු සමය වන විට තිරගත කරන්න දැනට කටයුතු සූදානම් කරල තියෙනව.

මේ චිත‍්‍රපටයක් රූගත කරන්න සුදුසු කාලයක්ද?

ලංකාවේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය පිළිබඳව කතාකළොත්” වර්තමානයේදී කිසියම් ආකාරයකට පසුබෑමක් තියෙනව. කොරෝනා වසංගතය මගින් තමයි මේ මූලික බලපෑම සිදු වුණේ. නමුත් මේ මොහොතෙ වැඩකටයුතු අවසන් වුණ චිත‍්‍රපටය පේ‍්‍රක්‍ෂකයන්ට මුදාහැරියෙ නැති වුණොත් ඒකත් කිසියම් ආකාරයකට ලොකු අර්බුදයක් වෙනව. මොකද ප්‍රෙක්‍ෂකයන් බොහෝ දෙනෙකුගෙන් චිත‍්‍රපටයට ලොකු ඉල්ලූමක් තියෙනව. ඒ නිසා අපි මේ මොහොතේ තීරණය කළා චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කළ යුතුයි කියල.

පේ‍්‍රක්‍ෂකාගාරයක් නැති නිසා අර්බුද රැසක් මතු වෙලා...  චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ෂර්ලි සමරසිංහ

පියාඹන්න ආයෙත් මොන වගේ නිර්මාණයක්ද?

මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන මාතෘකාව බවට පත්වෙන්නෙ පේ‍්‍රමය. ආදරය පිළිබඳව ලබන අත්දැකීම් පාදක කරගෙන අලූත් තේමාවක් යටතේ තමයි මේ කතාව නිර්මාණය වෙන්නෙ. අපි බොහෝ වෙලාවට හිතනවනෙ ප‍්‍රථම පේ‍්‍රමය ජය ගත යුතුයි කියල. නමුත් ආදරය තුළ සියල්ලම සර්වසම්පූර්ණව ජයගන්නා පෙම්වතුන් අපිට හමු වෙන්නෙ නැහැ. මේ කාරණා පාදක කරගනිමින් ජීවිතය ගැන” ආදරය ගැන නැවත හිතන්නට පොළඹවන” ජයග‍්‍රාහී පේ‍්‍රමයක අවසානයක් වෙනුවට යථාර්ථය දකින නිර්මාණයක් හැටියට පියාඹන්න ආයෙත් හඳුන්වන්න පුළුවන්.

පේ‍්‍රක්‍ෂකාගාරයක් නැති නිසා අර්බුද රැසක් මතු වෙලා...  චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ෂර්ලි සමරසිංහ

සීමිත නළු නිළි පිරිසක් සහභාගී කරගන්න හිතුවෙ ඇයි?

මේ චිත‍්‍රපටයේ ප‍්‍රධන තේමාව වෙන්නෙ පේ‍්‍රමය. ඒ අනුව පෙම් යුවළක් වටා ගෙතුන කතාවක් තමයි නිර්මාණය වෙන්නෙ. මෙතනදි ඔවුන්ගේ ජීවිතයට එකතු වෙන තවත් චරිත කිහිපයක් පමණක් යොදා ගන්නා නිසා අවශේෂ චරිත අඩුයි. නමුත් චිත‍්‍රපටයට මෙමගින් හානියක් වෙන්නෙ නැහැ.

රංගන ශිල්පීන් ගැන සඳහන් කළොත්?

මේ නිර්මාණයේ ප‍්‍රධාන චරිත නිරූපණය කරන්නෙ කළණ ගුණසේකර සහ චමත්කා ලක්මිණි. ඔවුන් දෙදෙනාගේ සුසංයෝගය මේ චිත‍්‍රපටයට බොහොම හොඳින් ගැළපුනා කියල හිතෙනව. ඒ වගේම පහන්දි දියණියත් මෙහි චරිත නිරූපණය කරනව. සියලූම දෙනා ගත්තත් දහයකටත් අඩු ප‍්‍රමාණයත් තමයි මේ නිර්මාණයට චරිත නිරූපණයෙන් දායක වෙන්නෙ.

පේ‍්‍රක්‍ෂකාගාරයක් නැති නිසා අර්බුද රැසක් මතු වෙලා...  චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ෂර්ලි සමරසිංහ



ටෙලි නිර්මාණයක් ද මේ චිත‍්‍රපටයක් වුණේ?

කිසිම විදිහකින් ටෙලි නාට්‍යයකට ලියූ පිටපතක් මෙතනදි චිත‍්‍රපටයක් වුණේ නැහැ. උදාර පල්ලියගුරු මේ චිත‍්‍රපටයේ නිෂ්පාදකවරයා. ඒ වගේම මේ තිර පිටපතත් ඔහුගේමයි. නුවරඑළිය” යාපනය” තංගල්ල” අනුරාධපුරය” අම්පාර” බදුල්ල සහ ලංකාවේ තවත් ප‍්‍රදේශ කිහිපයකම මෙහි රූගතකිරීම් කටයුතු සිදුකළා.

නිෂ්පාදකවරයාට සාධාරණයක් කරන්න පුළුවන් කියල ඔබට හිතෙනවද?

ඕනෑම චිත‍්‍රපටයක සාර්ථකත්වය තීරණය වෙන්නෙ ඒ නිර්මාණය වටා එකතු වන පේ‍්‍රක්‍ෂක පිරිසත් එක්ක සහ ඔවුන්ගේ ප‍්‍රතිචාරත් එක්ක. මේ වන විට සමාජ මාධ්‍ය හරහා සහ අනෙකුත් මාධ්‍යයන් හරහා ලැබෙන ප‍්‍රචාරණයත් එක්ක පේ‍්‍රක්‍ෂකයන් පියාඹන්න ආයෙත් වටා එකතු වේවි කියල හිතනව. විශේෂයෙන්ම අපේ රටේ සිනමා පේ‍්‍රක්‍ෂකාගාරය විවිධ ප‍්‍රශ්න හමුවේ සීමාසහිත වෙලා. නමුත් හොඳ කතාවක්” හොඳ තේමාවක්” නවක නළු නිළි කැලක් හඳුන්වාදීමක් සිදුවෙලා තියෙන නිසා පේ‍්‍රක්‍ෂක ආකර්ශනය ලැබෙන බවට විශ්වාසයක් තියෙනව.

නිෂ්පාදකවරයා සහ ඔබ අතර සම්බන්ධය මොන වගේද?

පියාඹන්න ආයෙත් කියන්නෙ යූ. ඒ. පල්ලියගුරු මහත්මයාගේ හත් වන සිනමා නිර්මාණය. මම සහ එතුමා අතර හොඳ අවබෝධයක් තියෙනව. මොකද මම අවුරුදු පහක් පුරා එතුමාගේ ආයතනයේ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්‍ෂවරයෙක් හැටියට කටයුතු කරනව. එතුමාගෙන් ලැබුණ අනුග‍්‍රහය සහ මේ නිර්මාණය අධ්‍යක්‍ෂණය කිරීම සඳහා මට ආරාධනා කිරීම මගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් හැටියටත් හඳුන්වන්න පුළුවන්.

ඔබ ටෙලි නිර්මාණකරණයෙන් ඈත් වේවිද?

මම ටෙලි නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ සහ රූපවාහිනි වැඩසටහන් අධ්‍යක්‍ෂවරයෙක් හැටියට පසුගිය කාලයේ කටයුතු කළා වගේම ඒ වැඩකටයුතු ඉදිරියටත් සිදුවේවි. නමුත් චිත‍්‍රපට මාධ්‍ය කියන්නෙ ලොකු බලාපොරොත්තුවක් සහ ලොකු ආසාවක් තියෙන ක්‍ෂේත‍්‍රයක්. ඉහත ක්‍ෂේත‍්‍ර දෙකේම මම කටයුතු කළේ මගේ සිනමා සිහිිනය ජයගන්න. අද ඒ දේ ඉටුවෙලා.

මේ වන විට ඔබ තවත් සිනමා නිර්මාණයක් අධ්‍යක්‍ෂණයට අතගහල?

ඔව්. යූ. ඒ. පල්ලියගුරු මහත්මයාගෙන්ම මට ආරාධනයක් ලැබිල තියෙනව තවත් චිත‍්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්න. මේ වන විට පිටපත ඇතුළු කටයුතු සූදානම් කරමින් ඉන්නෙ.

ලංකාවේ චිත‍්‍රපට කර්මාන්තය ගැන නවකයෙක් වශයෙන් ඔබේ අදහස?

ඇත්තටම ලංකාවේ චිත‍්‍රපට කර්මාන්තය ගැන සුබවාදී බලාපොරොත්තුවක් තියෙනව කියල කියන්න පුළුවන්. මේ දැවැන්ත සිනමා කර්මාන්තයක් තිබුණ රටක්. දැවැන්ත රංගන ශිල්පීන්” අධ්‍යක්‍ෂවරු සහ පුරෝගාමී පරම්පරාවක් අපිට හිටියා. නමුත් වර්තමානයේදී මේ සියල්ල පවතින සමාජ දේශපාලන වාතාවරණය මත හකුලාගන්නට සිදුවෙලා. ලංකාවේ පමණක් නෙමෙයි” ලෝකයේම කර්මාන්ත බිඳවැටිල නැවත නවීකරණය වෙමින් තියෙන මොහොතක තමයි අපේ පරම්පරාව සිනමාවට එන්නෙ. මොන අර්බුද තිබුණත් ඩිජිටල්කරණය වෙමින් විවිධ ෆ්ලැට්ෆෝම් නිර්මාණය වෙලා තියෙනව. නමුත් අපේ රටේ විශාල ආයෝජනයක් කරමින් මහා පරිමාණයේ නිර්මාණයක් කළොත් ඒ හා සමාන පේ‍්‍රක්‍ෂකාගාරයක් නැති නිසා අර්බුද රැසක් මතු වෙනව.

ඔබේ නිර්මාණයක් මේ ඩිජිටල් ෆ්ලැට්ෆෝම් හරහා ප‍්‍රදර්ශනයට සූදානම් නැද්ද?

ලෝකයේ පේ‍්‍රක්‍ෂකයන් ගත්තම අපිට ඉන්නෙ ඉතා සුළු පිරිසක්. ඉන්දියාවේ දමිළ සහ හින්දි සිනමාව ගත්තම ලෝකයේ බොහෝ රටවල පේ‍්‍රක්‍ෂක පිරිසක් ඉන්නව. ඒ නිසා අපිට තවම ඩිජිටල් ෆ්ලැට්ෆෝම් හරහා ජාත්‍යන්තර මට්ටමට යන්න අමාරුයි. නමුත් අපේ චිත‍්‍රපටයට කර්නාටක සංගීතය පවා යොදාගෙන තියෙනව. ඒ නිසා ලෝකයේ සිංහල දමිල පේ‍්‍රක්‍ෂකයන් මේ චිත‍්‍රපටය ග‍්‍රහණය කරගනීවි කියල හිතනව. ලංකාවේ ප‍්‍රදර්ශනයෙන් පස්සෙ අන්තර්ජාලය හරහා මේ චිත‍්‍රපටය ඔවුන් වෙනුවෙන් මුදාහරින්නත් සූදානමින් ඉන්නවා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment