පොඩ්ඩ වැරදුණු තැන උසාවියේදීම පස් පොඩ්ඩාට චිකාගෝ ගේමක්

1649

පස් පොඩ්ඩා බන්ධනාගාර නිලධාරීන් තිදෙනකුත් මරලා

දිනය හරියට ම 2005 වර්ෂයේ නොවැම්බර් මස 26 වැනිදා ය. වේලාව උදෑසන 9.00 පසුවී තිබිණි. මීගමුව බන්ධනාගාරයට අයත් පී. ඩී. 6556 අංකය දරන බන්ධනාගාර බස් රථය ගම්පහ නගරයට සේන්දුවෙමින් තිබුණේය.

බන්ධනාගාර බස් රථයේ බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලිස් නිලධාරීන්ගේ ආරක්‍ෂාව ද යොදා තිබිණි. ඊට හේතු වූයේ මිනුවන්ගොඩ පාතාලයේ මහ කෙරුම්කාරයා වූ හීනටියන අසිත ඇතුළු පාතාල මැරයන් පිරිසක් මේ බස්රථයේ රැගෙන එමින් සිටි නිසා ය. හීනටියන අසිතගේ පාතාල කල්ලිය සහ කළු ගාමිණීගේ පාතාල කල්ලිය අතර ඒ වනවිට පැවැතියේ මාරක යුද්ධයකි. අසිත අධිකරණය වෙත රැගෙන එද්දී ඔහු ඝාතනය කිරීමට කළු ගාමිණීගේ කල්ලිය සැලසුම් කරගෙන සිටින බවට ලැබී තිබූ තොරතුරු නිසා අසිතට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබාදීමට කටයුතු කර තිබුණේය. අසිත ඝාතන සැලසුමේ මහ මොළකරුවන් වූයේ සමන් රෝහිත පෙරේරා හෙවත් පස් පොඩ්ඩා සහ සාගර බවට ද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබිණි.

එදින උදෑසන 8.30ට පමණ මීගමුව බන්ධනාගාරයෙන් පිටත් වූ සැකකරුවන් රැගත් බස් රථය මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි සැකකරුවන් දොළොස් දෙනකු සමග බන්ධනාගාර නිලධාරීහු සිව් දෙනකු ඉන් බැස්සූහ.

හීනටියන අසිත, කොමාන්ඩෝ උදය සහ ප්‍රදීප් යන පාතාල මැරයන්ට අමතරව අඹේගොඩ ඉන්වෙස්ට්මන් ආයතනයේ හිමිකරු වූ ඒ එල්. කරුණාරත්න ද ඒ වනවිට බස් රථය තුළ සිටියහ. වාහන පහසු ගෙවීමේ ක්‍රමයට ලබාදෙන බව කියමින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් කරුණාරත්න අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය. සර් පස් පොඩ්ඩා කොයිවෙලාවක හරි අපිට ඇටෑක් කරනවා. ඒ නිසා අපි ඇලට් එකේ යන්න ඕනෙ. අත් දෙකට මාංචු දාලා තිබ්බොත් අපිට ජීවිතේ බේරගන්නවත් බැරි වෙනවා ඒ නිසා අපිව ගෙනියනකොට මාංචු දාන්න එපා. උසාවිය ළඟදී බහිනකොට මාංචු දාන්න.

අසිතගේ ඉල්ලීම මත එදින ඔවුන්ගේ දෑත්වලට විලංගු නොදැමීමට තරම් බන්ධනාගාර නිලධාරීහු කාරුණික වූහ.

පාතාල මැරයන් රැගත් බන්ධනාගාර බස් රථය ගම්පහ මිනුවන්ගොඩ මාර්ගය ඔස්සේ වේගයෙන් ධාවනය වුණේය. බස් රථයේ රියැදුරුට පිටුපස අසුනේ සිටියේ පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහු ටී 56 ගිනි අවියක් අතදරාගෙන සිටියේය. අසිතගේ ජීවිතයට තර්ජනයක් එල්ල වීමට ඉඩ ඇති නිසා ඔහුට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබාදී තිබුණේය.

බස් රථයේ ඉදිරිපස වම් කෙළවරේ සිටියේ බන්ධනාගාර නියාමක නිරෝෂණ් ය. ටී 56 අවියකින් ඔහු ද සන්නද්ධ වී සිටියේය.

බස් රථය පිටුපස කොටස දැල් ගසා ආවරණය කර තිබූ අතර හීනටියන අසිත කොමාන්ඩෝ උදය, දීප්ති සහ අඹේගොඩ ඉන්වෙස්ට්මන් අධිපති ඒ කොටසේ රඳවා සිටියහ.

මීගමුව බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ඕවසියර් ඩබ්ලිව් විමලතුංග පෙරේරා නියාමක වයි. බී. අමරසේන මහත්වරු ද බස් රථය පසුපස කොටස ආසන්නයේ වූහ. බන්ධනාගාර නිලධාරීන් අල්ලාප සල්ලාපයේ යෙදී සිටිය ද අසිත ඇතුළු පාතාල මැරයන් සිටියේ දැඩි සෝදිසියෙන් යුතුවය. කොයි මොහොතක හෝ පස් පොඩ්ඩා සාගර ඇතුළු පාතාල මැරයන් විසින් තමන්ට ප්‍රහාරයක් එල්ල කරන බව ඔවුන් හොඳාකාරවම දැන සිටියහ.

බන්ධනාගාර බස් රථය ගම්පහ අස්ගිරිය පාලම ආසන්නයට එද්දී සෑහෙන වාහන තදබදයක් ද තිබුණේය. බස් රථය ධාවනය කළ නිලධාරියාට අවශ්‍ය වුණේ හැකි තරම් ඉක්මනට සැකකරුවන් ද රැගෙන ගම්පහ අධිකරණ භූමියට ළඟා වීමටය. අස්ගිරිය පාලම ආසන්නයට බස් රථය ළඟාවෙත්ම පාලම අනෙක් කෙළවරෙන් සුදු පැහැති කැන්ටර් වර්ගයේ ලොරියක් ඇතුළු කිරීමට උත්සාහ කරන ආකාරය බස් රථයේ රියැදුරු නිලධාරියා කල්තියාම දුටුවේය. එහෙත් පාලමට ඇතුළු කිරීමට උත්සාහ කළ ලොරිය නැවත පසුපසට ගෙන බස් රථය ධාවනය කිරීමට ඉඩ ලබා දුන්නේය. වාහන දෙකක් මාරුවීමට පාලමේ ඉඩකඩ තිබියදී ලොරි රථය ආපසු ගත්තේ ඇයි දැයි සිතමින් බන්ධනාගාර රියැදුරු බස් රථය හෙමින් ඉදිරියට ධාවනය කළේය. බස් රථය ටිපර් රථයට ආසන්න විය.

බන්ධනාගාර බස් රථයෙන් පිටතට හිස දැමූ රියැදුරු නිලධාරියා ලොරි රියැදුරු දෙස බලා මොකද මෙච්චර ඉඩ තිබිලත් ලොරිය දැම්මෙ නැත්තෙ යැයි විමසුවේය. ලොරි රියැදුරු කිසිවක් නොකියා දැඩි විමසිල්ලෙන් බස් රථය තුළ සිටින පුද්ගලයන් දෙස බැලුවේය.

බන්ධනාගාර බස් රථය තුළ සිටි හීනටියන අසිත උගේ ගෝල බාලයන් වන දීප්ති සහ උදය බස් රථයෙන් පිටත සිදුවන සියල්ල දැඩි ලෙස විමසිලිමත් වූහ.

ටිපර් රථය පිටුපස කොටසින් එක් වරම පුද්ගලයකු නැඟී සිටින බව මුලින්ම දුටුවේ දීප්තිය. එසේ නැඟ සිටි පුද්ගලයා අත ටී 56 අවියක් තිබෙනු දුටු දීප්ති කෑගැසුවේය.

“ඔන්න ගහනවා පහත් වෙයන් පහත් වෙයන්…” දීප්තිගේ මරහඬ දීමට අනුව ක්‍රියාත්මක වූ අසිත සහ උදය එක වරම බස්රථයේ අසුන් යටට රිංගුවෝය.

සිදුවන්නේ කුමක් දැයි සිතාගැනීමට කිසිවකුටත් ඉඩක් තිබුණේ නැත. ලොරිය පිටුපසින් මතුවූ අළුගෝසුවා ටී 56 ගිනි අවියක් ගෙන බන්ධනාගාර බස් රථයට වෙඩි වරුසාවක් එල්ල කරන්න පටන් ගත්තේය.

ගම්පහ අස්ගිරිය ප්‍රදේශයම දෙවනත් කරමින් පිටවූ ටී 56 වෙඩි උණ්ඩ බන්ධනාගාර බස් රථය සිදුරු කරමින් එහි සිටි පිරිස වෙත එල්ල වුණේය.

සිදුවන්නේ කුමක් ද යන්න අඹේගොඩ ඉන්වෙස්ට්මස් අධිපතිවරයාට අවබෝධයක් තිබුණේ නැත. පිටත වන්නේ කුමක් දැයි නිරීක්‍ෂණය කිරීමට ඔහු හිස එසෙව්වේය. ඒ සමගම වෙඩි ප්‍රහාර කීපයක් ඔහුගේ හිස පසාරු කරගෙන ගියේය.

බන්ධනාගාර බස් රථයට දකුණු පසින් එල්ල වූ වෙඩි වරුසාව විනාඩි කීපයක් යන තුරු නතර වුණේ නැත. බන්ධනාගාරය තුළ සිටි සන්නද්ධ නිලධාරීන්ට කර කියා ගන්නට දෙයක් ඉතිරිව තිබුණේ නැත. ඔවුන් ජීවිත ආරක්‍ෂා කර ගන්නවා හැරෙන්නට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට උත්සුක වුණේ නැත.

බස් රථය පැදවූ නිලධාරියා ඒ මොහොතේ එඩිතර ක්‍රියාමාර්ගයක් ගත්තේය. පිට පිට එල්ලවන ප්‍රහාර හමුවේ නොබියව බස් රථය ඉදිරියට ධාවනය කර නොනවත්වා එය

ගම්පහ රෝහල කරා රැගෙන යෑමට ඔහු කටයුතු කළේය. විනාඩි කීපයක් තුළ චිකාගෝ මෙහෙයුම නිමා කළ පස් පොඩ්ඩාගේ කල්ලියේ පාතාල සඟයන් නිරුපද්‍රිතව පලා ගියහ. බස් රථය නොනවත්වා ධාවනය නොකරන්නට පාතාල මැරයන් ඊට ඇතුළු වී එහි සිටි සියලු දෙනා ඝාතනය කරනු නොවනුමානය. බස් රථය රෝහල කරා එනවිටත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු සහ අඹේගොඩ ඉන්වෙස්ට්මන් අධිපතිවරයා අවසන් ගමන් ගොස් සිටියහ. පස් පොඩ්ඩාගේ ඉලක්කය වූ හීනටියන අසිත ඇතුළු පාතාල මැරයන්ට කිසිදු හානියක් සිදුවී තිබුණේ නැත.

මිනුවන්ගොඩ, දිවුලපිටිය, ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන බිහිවූ පස් ජාවාරම මේ වනවිට මිනිස් ජීවිත පනහකට ආසන්න ප්‍රමාණයක් විනාශ කර හමාරය. පස් කපා විකිණීම එහෙමත් නැත්නම් පස් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම පස් ජාවාරම්කාරයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය විය. 2000 වර්ෂයෙන් පසුව මෙම පස් ජාවාරම ජයටම සිදු වුණේය.

හීනටියන අසිත සහ කළු ගාමිණීගේ පාතාල කණ්ඩායම් දෙක මේ පස් ජාවාරමේ අයිතිය තමන් වෙත ලබාගැනීමට යුද වැදුණේය. මේ ජාවාරම් යුද්ධය නිසා ම මේ වනවිට හීනටියන අසිත කළු ගාමිණී ජීවතුන් අතර නැත. පස් ජාවාරම් නිසා ඝාතනය වූවන්ගේ ලැයිස්තුවට ඔවුන්ගේ නම් ද මේ වනවිට එකතුවී හමාර ය.

මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන අසිතගේ කල්ලිය බලවත් වෙද්දී අනෙක් පසින් කළු ගාමිණීගේ කල්ලිය බලවත් වන්නට පටන් ගත්තේය. මේ පාතාල කල්ලි දෙකම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකුගේ ආශිර්වාදය නොඅඩුව ලැබී තිබිණි. මේ දේශපාලන හයිය නිසාම ඔවුන් දිනෙන් දිනම බලවත් වන්නට පටන් ගත්හ.

කළු ගාමිණීගේ සමීපතම සගයා වූයේ පස් පොඩ්ඩා ය. තම ප්‍රතිවාදියා වන හීනටියන අසිත ඝාතනය කිරීමේ සැලසුමේ මහ මොළකාරයා වූයේ පස් පොඩ්ඩා ය. සැලසුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ටිපර් රථය ටී 56 ගිනි අවිය මෙන්ම කුලී ඝාතකයන් සූදානම් කරන්නේ ද පස් පොඩ්ඩා විසින්ය.

එහෙත් අසිත ඝාතන සැලසුම අවසානයේ අසාර්ථක ප්‍රහාරයක් විය. අස්ගිරිය පාලම උඩදී එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය අවසානයේදී පස් පොඩ්ඩා ඇතුළු පාතාල සගයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත්හ. හීනටියන අසිත සහ කළු ගාමිණී අතර පස් ජාවාරම් සම්බන්ධයෙන් පැවැති යුද්ධයෙන් මුලින්ම පරාජය වන්නේ කළු ගාමිණීය. හීනටියන අසිත සිය ගෝල බාලයන් යොදා ගම්පහ උඩුගම්පොළ කනිෂ්ඨ විiාලය අසලදී කළු ගාමිණීට වෙඩි තබා ඝාතනය කළේය. කළු ගාමිණී ඝාතනයට ලක්වුවද ඔහුගේ පාතාල කල්ලිය විනාශ වුණේ නැත. බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණි පස් පොඩ්ඩා කළු ගාමිණීගේ කල්ලියේ යාවජීව සාමාජිකයන් එක්කරගෙන කල්ලිය නැවත ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කළේය.

කසිප්පු ජයේ සාගර ලොකු අයියා ඇතුළු පාතාල සගයන්ගෙන් සැදුම්ලත් කල්ලිය මෙහෙයවූ පස් පොඩ්ඩා නැවතත් සිය ජාවාරම් කරන්නට පටන් ගත්තේය. එතැන් සිට හීනටියන අසිත හැප්පෙන්නට පටන් ගත්තේ පස් පොඩ්ඩා සමගය. පස් කපා විකිණීමේ ජාවාරම මෙන්ම පස් ව්‍යාපාරිකයන්ගෙන් මාසිකව රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් ලබාගැනීම පස් පොඩ්ඩාගේ ප්‍රධාන ආදායම් මාර්ගය විය.

පසු කලෙක හීනටියන අසිත ද මැරුම් කෑවේය. ඔහු ඝාතනය කළේ මීගමුව

බන්ධනාගාරය තුළදීම ය. පස් පොඩ්ඩාගේ සමීපතම පාතාල සගයා වූ කසිප්පු ජයේ ද ප්‍රතිවිරුද්ධ පාතාල මැරයන්ගේ ගොදුරක් බවට පත් වුණේය. දස වසරකට වැඩි කාලයක් තිස්සේ එකිනෙකා මරා ගනිමින් ගොඩනැඟුණු මිනුවන්ගොඩ පස් ජාවාරම් කේන්ද්‍ර කරගත් පාතාලය තවමත් ඒ ආකාරයෙන්ම පවතියි.

2018 වනවිට පස් පොඩ්ඩාගේ ප්‍රධානම ප්‍රතිවාදියා බවට පත්ව සිටියේ පද්මේ ය. පස් කැපීමේ ජාවාරමේ බලය බෙදා ගැනීම සඳහා මේ දෙපාර්ශ්වය අතර පැවැතියේ සීතල යුද්ධයකි.

පස් චමින්ද නොහොත් ‘චමී’ පස් පොඩ්ඩාගේ සමීපතම සගයෙකි. ගම්පහ දිය්ත්‍රික්කයේ ස්ථාන කීපයකම පස් කැපීමේ ව්‍යාපාර කරගෙන ගිය චමී ඒ හරහා විශාල ධනයක් ඉපැයුවේය. පද්මේ නිතර නිතර චමීට කරදර කරන්න පටන් ගත්තේ ඔය අතරතුරදීය. චමීගේ පස් ව්‍යාපාරයෙන් දෛනිකව කප්පම් මුදල් ලබාගැනීමට පද්මේ උත්සාහ කළේය.

පස් පොඩ්ඩා තම රැකවරණය සඳහා සිටින නිසා චමී කිසි විටෙකත් පද්මේට කප්පම් මුදල් ලබාදුන්නේ නැත. මේ ආරවුල දිගින් දිගට ම පැවතුණේය. අවසානයේ චමී පද්මේගේ පාතාල කල්ලියේ ගොදුරක් බවට පත් වුණේය. චමී මරා දැමූ පුවත සැලවූ පසු පස් පොඩ්ඩා යක්‍ෂාරූඪ වුණේය.

‘පද්මේ නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා. මං ඌට යහතින් ඉන්න ඉඩ තියන්නෙ නැහැ.’

පස් පොඩ්ඩා සිය පාතාල කල්ලියේ සඟයන් යොදා පද්මේ ඝාතනය කිරීමේ මෙහෙයුම ආරම්භ කළේය. ඒ වනවිට පස් පොඩ්ඩා ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාගේ කල්ලිය සමග එකට වැඩ කිරීමට ගිවිසුම්ගතව සිටියේය.

ගණේමුල්ලේ සංජීව ඒ වනවිට බන්ධනාගාරගතව සිටිය ද ඔහු එහි පිට සිට පාතාල කල්ලිය මෙහෙයුවේය.

චමී මරා දැමීමට එකට එක කිරීමක් ලෙස පද්මේ පරලොව යැවීමට සූදානමින් සිටි පස් පොඩ්ඩා සිය ගෝලබාලයන් යොදා ඔහුගේ ගමන් බිමන් පිළිබඳව සොයා බැලුවේය. පද්මේ

උඩුගම්පොළ කෙහෙල්බද්දර ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිටින බවට තොරතුරක් පස් පොඩ්ඩා වෙත ලැබෙන්නේ ඔය අතරතුරදීය.

දෙවරක් නොසිතාම පස් පොඩ්ඩා සිය කුලී ඝාතකයන් දෙදෙනකු පද්මේගේ නිවසට යැවීමට කටයුතු කළේය. ඝාතකයන් කෙහෙල්බද්දර පිහිටි පද්මේගේ නිවසට කඩාවැදුණේය. එහෙත් ඒ මොහොතේ පද්මේ නිවසේ සිටියේ නැත. ඝාතකයන් පස් පොඩ්ඩාට දුරකථනයෙන් කතා කළේය.

‘පද්මයා ගෙදර නැහැ උගේ තාත්තා විතරයි ඉන්නෙ. මොකද කරන්නෙ අපි හැරිලා එන්නද?’

පාතාල මැරයන් පස් පොඩ්ඩාගෙන් විමසුවේය.

උඹලා හිස් අතින් එන්න එපා. පද්මයගෙ තාත්තට ගහලා දාපං එතකොට පද්මයට උණගැනෙයි.

පස් පොඩ්ඩා කීවේය.

ඒ මිනිහා මේවට සම්බන්ධ නැහැනෙ. ඌ මරණ එක බොරු වැඩක්නෙ. ඝාතකයන් පෙරලා පස් පොඩ්ඩාට කීවේය.

උඹලා මං කියපු දේ කරපල්ලා. මට ඕනෙ චමියා මරපු එකට පද්මයගෙන් පළිගන්න. ඒකට ඌ නැත්නම් උගේ තාත්තා හරි කමක් නැහැ. වැඩේ හරියට කරලා වරෙල්ලා.’

පස් පොඩ්ඩාගේ නියෝග මත පද්මේගේ පියා වෙඩි තබා ඝාතනය කළ පාතාල මැරයන් පලා ගියහ. සිය පියා ඝාතනය කිරීම සැලවූ සැනින් පද්මේ දැඩි ලෙස කෝපයට පත් වුණේය.

‘ඕකා කරපු දේට මං ලේවල පලිය ගන්නවා වැඩි දවසක් යන්න ඉස්සර මං ඕකව පරලොව යවනවා.’

පද්මේ සිය පියාගේ මෘත දේහය ඉදිරියේ ප්‍රතිඤ්ඤා දුන්නේය. එහෙත් ඊට පෙර පද්මේ පොලිස් අත්අඩංගුවට පත් වුණේය. ඒ පස් චමින්ද ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ය.

මේ අතර පද්මේගේ පියා වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය විමර්ශන කළ පොලිසිය පස් පොඩ්ඩා ද අත්අඩංගුවට ගත්හ. පස් පොඩ්ඩාගේ කල්ලිය සහ පද්මේගේ පාතාල මැරයන් එකිනෙකා මරා ගැනීම ටික කාලයකට නතර වුණේය.

වසරකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටි පද්මේ ඇප මත මුදාහැරීමෙන් පසු ගම රට බලා ආවේය. පද්මේ පැමිණ ටික කාලයකට පසු පස් පොඩ්ඩාට ද ඇප ලැබුණේය.

මට පස් පොඩ්ඩා එක්ක ලොකු එරියස් එකක් තියෙනවා. මෙහෙ හිටියොත් ඌ මට ඉස්සර වෙන්න පුළුවන්. ඒ නිසා රටින් පැනගන්න එක තමයි හොඳම වැඩේ. ඒත් ලෝකෙ කොහේ හිටියත් මං පස් පොඩ්ඩව පරලොව අරිනවා.

පද්මේ සිය කල්ලියේ සගයන්ට කීවේය. පද්මේ හොර රහසේම ඩුබායි රාජ්‍යයට පලා යන්නේ ඔහුට එල්ල වී තිබූ ජීවිත තර්ජන නිසාම ය.

පද්මේ රටින් පලා යෑම මහත් සැනසීමක් බව පස් පොඩ්ඩා සිතුවේය. ඔහු රිසිසේ සිය ජාවාරම් කප්පම් ගැනීම් සහ පාතාල ක්‍රියා කාරකම් කරගෙන ගියේය.

මේ අතර ගණේමුල්ලේ සංජීව නමැති පාතාල මැරයා ද ඇප මත මුදාහැරීමෙන් පසු සමාජගත වුණේය. එහෙත් සංජීව වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටියේ නැත. ආරක්‍ෂක අංශ වෙතින් සහ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලිවලින් එල්ල වී තිබූ ජීවිත තර්ජන නිසා ම සංජීව ඉන්දියාවට පැන ගත්තේය.

ඒ වනවිට සංජීවගේ කල්ලියේ ප්‍රබලම සාමාජිකයකුව සිටි පස් පොඩ්ඩා ඔහුගේ උපදෙස් නියෝග පිළිපදිමින් සිටියේය.

පසුගිය 27 වැනිදා පස් පොඩ්ඩාට සුවිශේෂී දිනයක් විය. එදින ගම්පහ අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකට පස් පොඩ්ඩාට ඉදිරිපත් වීමට නියමිතව තිබුණේය. ගම්පහ අස්ගිරියේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාර එල්ල කර බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙක් ඇතුළු සිව්දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විභාග වෙමින් තිබූ නඩුවට ඉදිරිපත් වීමට පස් පොඩ්ඩා අධිකරණයට එන්නේ සිය සගයන් ද සමගය.

පැය කීපයක් අධිකරණයේ ගතකර නඩුවට පෙනී සිටි පස් පොඩ්ඩා සිය ගෝලයන් තිදෙනකු ද සමග අධිකරණ ශාලාවෙන් පිට වුණේය.

ඒ වනවිට ඔවුන් පැමිණි කැබ් රථය අධිකරණය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ නතර කර තිබුණේය. කලබලයෙන් පැමිණි පස් පොඩ්ඩා කැබ් රථයට ගොඩවීමට සූදානම් වනවාත් සමගම ගම්පහ දෙසින් වේගයෙන් පැමිණි වැගන් ආර් වර්ගයේ රථයක් මග හරස් කර නතර කළේය. සිදුවන්නට යන්නේ කුමක් දැයි සිතාගැනීමට පස් පොඩ්ඩාට කාලයක් තිබුණේ නැත. වැගන් ආර් රථයෙන් බැසගත් නාඳුනන තුවක්කුකරුවකු ටී 56 ගිනි අවියක් ගෙන පස් පොඩ්ඩා ඇතුළු සගයන් සිටි දෙසට ඉවක් බවක් නොමැතිව වෙඩි තබන්නට පටන් ගත්තේය.

ගම්පහ අධිකරණ සංකීර්ණය පමණක් නොව මුළු නගරයම දෙවනත් කරමින් වෙඩි හඬ හිඟුම් දුන්නේය. තත්ත්පර ගණනකදී සිය ප්‍රහාරය අවසන් කළ ඝාතකයන් වැගන් ආර් රථයේ නැගී නොපෙනී ගියහ.

අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්‍ෂාවක් තිබියදී මහ දවල් එල්ල වූ මේ ප්‍රහාරය පොලිසියට කළු පැල්ලමක් එක් කිරීමට සමත් විය. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පස් පොඩ්ඩා සහ උගේ සගයන් තිදෙනෙක් ගම්පහ රෝහලට ඇතුළත් කළහ.

හිසට සහ තවත් ස්ථාන කීපයකට එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් පස් පොඩ්ඩා එදින සවස අවසන් ගමන් ගියේය.

දසක දෙකකට ආසන්න කාලයක් තිස්සේ අහිංසක ජීවිත බිලිගනිමින් නොයකුත් දරුණු අපරාධ මෙහෙය වූ පස් පොඩ්ඩා අවසානයේ මහ මගදී මැරුම් කෑවේ දිට්ඨධම්ම වේදනීය කර්මය මෙලොවදීම පඩිසන් දෙමින්ය.

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය පවසන්නේ පස් පොඩ්ඩා ඝාතනය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින පද්මේ විසින් සිය ගෝල බාලයන් යොදා කරන්නට ඇති බවය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment