පොතුහැර ව්‍යාජ දළදා මාලිගාවක්? – මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

551

කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජානක සේනාධිපති නමැත්තකු විසින් ව්‍යාජ දළදා මාලිගාවක් ඉදි කෙරෙමින් පවතින බවත් ඒ හරහා දේශීය හා. විදේශීය ගිහි පැවිදි බෞද්ධයින් රවටා මුදල් හා රත්‍රං එක්රැස් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් දන්වමින් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ අත්සනින් යුතු ලිපියක් ජනපතිවරයා වෙත යොමුකර ඇත.

මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද අත්සන් කළ එම ලිපියේ මෙසේද සඳහන් වෙයි.

ව්‍යාජ දළදා මාලිගාවක් කුරුණෑගල වදාකඩ පොතුහැර ප්‍රදේශයේ ගොඩනගන බව අප වෙත දැන ගන්නට ලැබී ඇත. මේ වනවිටත් දේශීය හා විදේශීය ගිහි පැවිදි බොහෝ දෙනා මෙම මිථ්‍යාවට රැවටී මිල මුදල් රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවට ද අනාවරණය වෙමින් පවතී.

එසේම බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ආකාරයෙන් සේපාල් අමරසිංහ නමැත්තකු බුදු දහමට හා ශ්‍රී දළදා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති බවක් දක්නට ලැබේ. මෙසේ බුදු දහමට හා ශාසනික චිර පැවැත්මට හානිකර අයුරින් හා දළදා ඉතිහාසය විකෘති වන ආකාරයෙන් ව්‍යාජ දළදා මාලිගා නිර්මාණය කරමින් මිථ්‍යා මත ඉස්මතු කර දැක්වීම හා බුදු දහම කෙරෙහි අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ පූජනීයත්වයට හා වන්දනීයත්වයට පාත්‍රව පවත්නා සෙංකඩගල පුර ශ්‍රී දළදා මාලිගාවේ පරම පූජනීයත්වයට හානිකර ක්‍රියාදාමයක් බවත් බුදු දහමට අපහාසයක් ගෙන දෙන්නක් බවත් කාටත් වැටහී යනු නොඅනුමානය.

මෙම අබෞද්ධ මිථ්‍යා මත පතුරවමින් ඇතැම් මිථ්‍යා මතධාරීන් විසින් සිදු කරනු ලබන බෞද්ධ විරෝධී ක්‍රියා පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙන පරිදි බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ කාර්යභාරයට බැඳී සිටින රජය විසින් වහා කරුණු පරීක්ෂා කොට ආරම්භයේ දීම ඒවා වළක්වා ලීමට කටයුතු කිරීම බුදුදහමේ චිරස්ථිතිය හා අභිවර්ධනය පිණිස හේතුවන බව ජනාධිපතිතුමාගේ සුවිශේෂ අවධානයට යොමු කරන අතර මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම සුදුසු බව කරුණාධ්‍යාශයෙන් සිහිපත් කර සිටුම්හ.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment