පොදුජන අසහනය සහ බැසිල්ගේ සහන පැකේජය

341

* ජනතා අසහනය

හොඳට සල්ලි තියෙන අය හැරෙන්නට අතිමහත් බහුතර පොදු ජනයා අද සිටින්නේ දැඩි අසහනයකිනි. සෑම පැත්තකින්ම ඔවුන්ගේ ජීවත්වීමේ ප‍්‍රශ්නය උග‍්‍ර වී තිබේ. බඩු මිල ගණන් සැලකිය යුතු ලෙස වැඩි වී මිල පීඩනය දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇත. එහෙත් ආණ්ඩුවේ බොහෝ අය මේ ගැන එතරම් සංවේදීව කටයුතු කරන බවක් නොපෙනේ. එහෙත් ජනතාව සිටින්නේ හුදු අසතුටකින් පමණක් නොව කෝපයෙනි. ඒ බව ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ කතාවලින් ද ඇතැම් විට පැහැදිලිව දැකගත හැකිය. නිමල් ලන්සා සහ සුසිල් පේ‍්‍රමජයන්ත යන ඇමැතිවරුන් මේ ගැන බලවත් විවේචන සිදුකරනු රූපවාහිනී පුවත් තුළින් මෑත දී අපට අසන්නට, දකින්නට ලැබිණි. නිමල් ලන්සාට කිසිවක් වූයේ නැත. එහෙත් දෙල්කඳ පොළේ එළවළු ගැනීමට පැමිණ අහම්බෙන් මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් රජයේ වැඩපිළිවෙළ විවේචනය කළ සුසිල් පේ‍්‍රමජයන්ත රාජ්‍ය ඇමැතිවරයා ඊට පසු දිනම නෙරපා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක‍්‍රියා කළේය. ඊට පෙර රටේ ආහාර හිඟයක් ඇති වෙන බව කී කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහව ද වහාම ඉවත් කිරීමට ජනාධිපතිවරයා ක‍්‍රියා කළේය. ඔවුන්ගේ හොඳ නරක වෙනම කතාවකි. එහෙත් අප නම් සිතන්නේ පොදු ජනයා පමණක් නොව ඇත්ත දකින ආණ්ඩුවේ ඇමැතිවරු සහ නිලධාරීන් බොහෝ දෙනෙක් ද මේ වන විට සිටින්නේ කිසියම් අසහනයකින් බවයි. එය ප‍්‍රසිද්ධියේ කියන ඇතැම් අයට වහාම අත්වන ඉරණම ද සුසිල් පේ‍්‍රමජයන්ත සහ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ යන සිද්ධි දෙක මගින් පැහැදිලි වී තිබේ.

* ජනතා ප‍්‍රශ්නවලට සංවේදී නොවීම

පොදුජන අසහනය සහ බැසිල්ගේ සහන පැකේජය
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ

මේ අතරම ගෑස් ප‍්‍රශ්නය ගැන විවේචනය කළ නිමල් ලන්සාට කිසිවක් වූයේ නැත. ඔහුව ඊට පසුදාම ඇමැති ධූරයෙන් නෙරපා හැරීමට ජනාධිපතිවරයා ක‍්‍රියා කළේ නැත. ඔහුට ඒ ඉරණම අත් නොවූයේ ඔහු විවේචනය කළේ රජයේ කාබනික කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය නොව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාගේ ක‍්‍රියාකලාපය පමණක් නිසා ද යන්න අපට පැහැදිලි නැත. කෙසේ හෝ ආණ්ඩුව ජනයාගේ අසහනය, කෝපය තේරුම් ගෙන ඊට සංවේදීව ක‍්‍රියා නොකළහොත් සිදුවනු ඇත්තේ කුමක් ද? හෙට දවසේ ආණ්ඩුවේ ඉරණම ජනතාව විසින් තීරණය කරනු ලැබීමයි. මෙසේ බැඳුම්කර මගඩි සිදු කර ඒ මගඩි වැඩ සහ ඒ මගඩිවලට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ අය ආරක්ෂා කළ, එසේම ජනතා සංවේදීව කටයුතු නොකළ යහපාලන රජය ඉතා ඉක්මනින් පිරිහීමට පත් වූ බව අපට මතකය. අන්තිමට ඒ රජය බලවත් ලෙස පරාජයට පත් වූවා පමණක් නොව ඒ රජයේ අගමැති වූ රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය මහජන ඡුන්දයෙන් එකදු මන්ත‍්‍රී ධුරයක්වත් නොමැති තත්ත්වයට බිහිසුණු අන්ත පරාජයකට පත් විය. අන්තිමට ජාතික ලැයිස්තුවෙන් පමණක් එක මන්ත‍්‍රී ධුරයක් පමණක් හිමි විය. ඒ නිසා සුළු පිරිසක් හැරෙන්නට මේ රටේ බහුතර ජනයා දිගටම පක්ෂ පාට බදාගෙන නොසිටින බව ඔය කොයි පක්ෂවල අයත් තේරුම් ගත යුතුය. පොහොට්ටුව ගැන කීමට ඇත්තේ ද ඒ ටිකමය. තවත් හවුල්කාර පක්ෂවල සහාය ලබාගෙන පිහිටු වූ පොහොට්ටු ආණ්ඩුවේ ලොක්කන් ද මෙය තේරුම් ගත යුතුය. ජනතා සංවේදී නොවී අ¥රදර්ශීව කටයුතු කරනවා නම් පොහොට්ටුව වැලඳගත් ජනයා දිගටම පොහොට්ටුව බදාගෙන ද නොසිටිනු ඇත.

* රු. බිලියන 229 ක සහන පැකේජය

පොදුජන අසහනය සහ බැසිල්ගේ සහන පැකේජය

මේ පොහොට්ටු පක්ෂයේ එනම් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා වත්මන් මුදල් ඇමැතිවරයා ය. ඔහු පසුගිය සඳුදා (03) රාත‍්‍රී මුදල් අමාත්‍යංශයේ දී හදිසි මාධ්‍ය හමුවක් පවත්වා සහන මාලාවක් (පැකේජයක්) ප‍්‍රකාශයට පත් කළේය. එහි මුළු වටිනාකම රු. බිලියන 229 ක් බව මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ මුදල් ඇමැතිවරයා කීවේය. මුදල් ඇමැතිවරයා මාධ්‍ය හමුව ආරම්භයේ දී මෙසේ කීවේය.

‘ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවට මුහුණ පාන්නට සිදුව ඇති දුෂ්කරතා ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන්නේ. මේ නිසා දීර්ඝ කාලයක් ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මුදල් අමාත්‍යාංශයට සඳහන් කළා ඉතා ඉක්මනට ජනතාවට යම් යම් සහන ලබා දෙන්නට උත්සාහ කරන්න කියල. ඔබ දන්නවා කොවිඞ් උවදුරත් එක්ක සමස්ත ලෝක වාසීන්ටම, හැම රටකටම ඉතාම දුෂ්කර අවස්ථාවක ඉන්න වෙලාවක ශ‍්‍රී ලංකාවට ඒක නොයෙක් ආකාරයෙන් තීව‍්‍ර වෙලා, දෙගුණ තුන් ගුණයකින් වැඩි වෙලා බලපාල තියෙනවා අපේ ආර්ථිකයට. එහෙත් අපි දැඩි වෙහෙසක් දරල යම් ආකාරයකට සහන සැලසීමට හැකි තත්ත්වයකට යම් කටයුත්තක් කරන්න පුළුවන්කම අපට ලැබිල තියෙනවා. ඒ අනුව මේ සහන ටික අද දින (03) ලබා දෙන්න කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සදහන් කරනවා.’

ජනතාව බලවත් අසහනයට පත්ව සිටින බව තේරුම් ගෙන ඒ ගැන සංවේදී වී මෙවැනි සහන මාලාවක් ලබා දීමට කටයුතු කිරීම ගැන මුලින්ම මුදල් ඇමැතිවරයා ප‍්‍රමුඛ රජයට අප ස්තුති කළ යුතුව තිබේ.

*  සහන පැකේජය සැබෑ සහනයක් වෙයි ද?

මේ සහන පැකේජයේ ඇති සහන මොනවා ද? බැසිල් ඇමැතිවරයා අදාළ සහන මාලාව ප‍්‍රකාශයට පත් කරමින් මුලින්ම සඳහන් කළේ 14ල50ල450 ක් වන රාජ්‍ය සේවකයන්ට මාසික පඩියට අමතරව ලබාදෙන රු.5000 ක අතිරේක දීමනාව ගැනය. එය මේ මස සිටම ඔවුන්ගේ මාසික වැටුපට අමතරව ගෙවන අතර ඒ පිරිසට සංස්ථා, මණ්ඩල සහ අධිකාරිවල අයත් ඇතුළත් වේ. මේ පිරිසට අතිරේක දීමනාව රජයෙන් ගෙවන බව කීවාට එහි බර දරන්නේ කවුද? මේ රටේ බදු ගෙවන ජනතාවයි. එහෙත් කොවිඞ් කාලයේ කිසිම අඩුවක් නැතුව වැටුප් ලැබූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් බර දැරූ රටේ සෙසු පොදුජනයාගේ තත්ත්වය කෙබඳුද? අප නම් සිතන්නේ බඩු මිල පීඩනය රාජ්‍ය සේවකයන් ඇතුළු සියලූ දෙනාටම පොදු වූවත්  පසුගිය කොවිඞ් කාලයේ කිසිදු වෙනසකින් තොරව පුර්ණ ලෙස මාසික වැටුප් ලැබූ මේ රාජ්‍ය සේවක පිරිස රටේ සෙසු ජනයාට සාපේක්ෂව අවම බලපෑමක් සිදු වූ පිරිසක් බවයි. එහෙත් එම සහන මාලාවේ ප‍්‍රධාන සහනයක් ලෙස මුලින්ම බැසිල් ඇමැතිවරයා කීවේ රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවයි. අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ලැබූ අයට ද ඊටත් අමතර ලෙස මෙම දීමනාව ලැබෙන අතර විශ‍්‍රාමිකයන් සියලූ දෙනාටත් එය ලැබෙන බව ද මුදල් ඇමැතිවරයා කීවේය. පුද්ගලික අංශයටත් මෙම වැඩිවීමට සමගාමීව දීමනාවක් දෙන ලෙස ඔහු පුද්ගලික අංශයේ හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් අප නම් සිතන්නේ රජය එවැනි ඉල්ලීමක් කළත් කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ පුද්ගලික සමාගම් සහ ආයතන බොහොමයක් ද මූල්‍යමය වශයෙන් අපහසුවට පත්ව ඇති බවයි. රට මොන තරම් කොවිඞ් වසංගත තත්ත්වයකට මුහුණ දුන්නත් වැඩ කළත් ගෙදර සිටියත් රජයේ සේවකයන්ට සම්පූර්ණ වැටුපම ලැබුණි. එහෙත් පෞද්ගලික අංශයේ සේවකයන් සම්බන්ධයෙන් තත්ත්වය එසේ නොවේ. බැංකු සහ මූල්‍ය ආයතන සහ වෙනත් හොඳ මූල්‍ය තත්ත්වයක් ඇති ආයතනවල හැර අනෙකුත් බොහොමයක් ආයතනවල සේවකයන්ට කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ නොයෙකුත් දුෂ්කරතා රැුසකට මුහුණ දීමට සිදු විය. රස්සාව නැති වීමේ සහ පඩි කැපීමේ සිට නොයෙකුත් අහිතකර තත්ත්වයන් රැුසකට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය. ඒ සඳහා එම සමාගම් හෝ ආයතනවලටම දොස් කීමට හැකි නොවේ. එම ආයතන ද කොවිඞ් වසංගතය නිසා රට වසා දැමීම හමුවේ බොහෝ ප‍්‍රශ්නවලට මුහුණ දුන්නේය. මේ නිසා ඉල්ලීමක් කළාට, ඔය රජයේ සේවකයන්ට දුන් රු.5000 ක සහනය මේ රටේ ලක්ෂ 65 කට අධික පෞද්ගලික අංශ සේවකයාට එලෙස ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය. පොදුවේ සියලූ ජනයා විශාල බඩු මිල පීඩනයකට මුහුණ දී සිටියත් කිසිදු අඩුවක් නැතුව දිගටම සම්පූර්ණ වැටුප් ලැබූ රාජ්‍ය සේවකයන්ට වඩා මාසික වැටුප් ලබන පෞද්ගලික අංශයේ සේවකයන්, එදිනෙදා ආදායම් උපයන අය සහ ස්වයං රැුකියා ඇතුළු අවිධිමත් අංශවල රැුකියා කරන අය මුහුණ දෙන අසහනය වැඩිය. එහෙත් ඒ අයට මේ සහන පැකේජයෙන් සහනයක් සැලසී නැති අතරම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් බර දරන්නේ ද ඒ බදු ගෙවන පොදු ජනතාවම ය. මේ සහනයෙන් වන්නේ පොදු ජනයා මත තවත් බර පැටවීමයි. ඒ නිසා බැසිල් ඇමැතිවරයා ලබා දී තිබෙන මේ සහන පැකේජය නිසි ලෙස පීඩාවට පත් කණ්ඩායම් ඉලක්ක කරමින් සැලසුම් කළ එකක් බව පෙනෙන්නට නැත. රාජ්‍ය සේවය බරක් බව මෑතදී කී බැසිල් ඇමැතිවරයා ඔවුන් ඉල්ලා නොසිටි දීමනාවක් මෙසේ අලූතින් රාජ්‍ය සේවකයන්ට ලබා දෙමින් රාජ්‍ය සේවය නඩත්තු කිරීම සඳහා මහජනයා දරන බර තවත් වැඩි කිරීමක් සිදු කර තිබේ. මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් සඳහා සියලූ බදු ඉවත් කිරීමට තීරණය කළ බව ද බැසිල් ඇමැතිවරයා කීවේය. එය අපි අගය කරමු. එහෙත් ඒ බදු සහනය සැබෑ ලෙස ජනයාට ලැබෙන බවට රජය සහතික විය යුතුය. ඒ සඳහා පියවර නොගත්තොත් මීට පෙර සීනි බද්ද ශත 25 ට අඩු කිරීමේ ඉරණම ම මෙයට ද අත්වනු ඇත. මේ නිසා රජයේ ආදායම්ද අහිමි කරගෙන එම සහනය ජනයාට නොලැබෙන්නේ නම් ඵලක් නැත. ඒ නිසා විශාල මුදලක් රජයේ බදු ආදායම් අහිමි වන්නේ නම් ඒ සහනය ජනතාවට ලැබිය යුතුය. සමෘද්ධි ලාභීන්ට ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1000ක දීමනාවක් ලබාදීමට සහ වී කිලෝවකට රුපියල් 75 ක් ගෙවමින් වැඩිපුර රු. 25 ක් ලබා දීමට ද තීරණය කර ඇත. එසේම ගෙවතු වගාවන් සිදු කරන අයට ආධාර ලබාදීමට ද නියමිතය. මේ සියල්ලම හොඳය. එහෙත් වඩා වැදගත් වන්නේ මේ සහන තවත් පොදු ජනයාට බරක් නොවන ඔවුන්ට සැබෑ සහනයක් ඇති කරන නිසි ලෙස ඉලක්ක කළ ඒවා වන්නේ නම්ය.

x වේගයෙන් ඉහළ යන උද්ධමනය

උද්ධමනය වේගයෙන් ඉහළ යමින් තිබේ. මේ අනුව පසුගිය දෙසැම්බර් මස උද්ධමනය සියයට 12.1 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. ඒ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනයයි. 2021 නොවැම්බර් මාසයේ පැවති උද්ධමනය සියයට 9.9 ක් විය. මේ උද්ධමනය වැඩි වීම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 17.5 සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 22.1 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.4 සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.5 දක්වා ඉහළ ගියේය. ඒ අනුව 2021 දෙසැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩය තුළ එළවළු, නැවුම් මත්ස්‍ය සහ අමු මිරිස් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. තවද ආහාර නොවන කාණ්ඩය තුළ ප‍්‍රධාන වශයෙන් ආපනශාලා හා හෝටල්, ප‍්‍රවාහන (එනම් විශේෂයෙන් පෙට්රල්, ඞීසල්, කුලී රථ, ත‍්‍රීරෝද රථ ගාස්තු) සහ මද්‍යසාර පාන වර්ග යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් 2021 දෙසැම්බර් මාසයේ දී ඉහළ ගියේය. බඩු මිල ඉහළ ගොස් ඒ වැඩිවූ මිල ගණන්වලට ඉතා අමාරුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටිකක් ගෙදර ගෙන ගියත් ඒවා පිස ගන්නට ගෑස් ද නැත. තවමත් රට පුරා උග‍්‍ර ගෑස් හිඟයක් තිබේ. ඇතැම් නිලධාරීන් ඇමැතිවරු කියන දේවලට වහාම පියවර ගන්නා ලෙසම, ජනතාව කලක් තිස්සේ මුහුණ දෙන මේ ගෑස් ප‍්‍රශ්නය, බඩු මිල ප‍්‍රශ්න, පොහොර ප‍්‍රශ්න සහ ගොවි ජනතා ප‍්‍රශ්නවලට ද මෙතරම්ම ක්ෂණිකව සංවේදීව විසඳුම් ලබා දීමට පියවර ගන්නවා නම් ඉතා හොඳය.

* ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]


advertistmentadvertistment
advertistmentadvertistment