පොදුරද මඬුලු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 114 ක් සහභාගි වෙනවා

168

එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ඇතුළු 165 දෙනකුගෙන් යුත් පිරිසක් ශ්‍රී ලංකාවෙන් සහභාගි වීමට නියමිත බව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ ශ්‍රී ලංකා සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඔලිම්පික් නිවහනේදී ඊයේ (30 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

ක්‍රීඩකයින් 54 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 60 දෙනෙකුගෙන් යුත් ක්‍රීඩක සංචිතයක් ඊට ඇතුළත් වන බවත් මේ වනවිට විදේශයන්හි සිට පුහුණුවීම් හදාරන තවත් ක්‍රීඩක ක්‍රිඩිකාවන් පිරිසක් ද ඊට ඇතුළත් බව සුබ්‍රමනියම් මහතා සඳහන් කළේය.

සුපුරුදු පරිදි බර ඉසීලිමේ ක්‍රීඩාව මෙවරත් ප්‍රධාන පදක්කම් බලාපොරොත්තු අතර පවතින බවත් රෙස්ලින්, ජිම්නාස්ටික්, ජූඩෝ යන ක්‍රීඩාවලින් මෙන්ම මලල ක්‍රීඩාව දෙසද බලාපොරොත්තු සහිතව ඇස ගසා ගෙන සිටින බවත් සුබ්‍රමනියම් මහතා පැවසීය.

ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ප්‍රධාන බලාපොරොත්තු වන මිල්කා ගෙහානි ක්‍රීඩිකාව ජපානයේ සිටද, ජූඩෝ ක්‍රීඩාවේ බලාපොරොත්තුව වන චාමර ද විදෙස්ගතව සිට තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර කැපී පෙනෙන බවත් සුබ්‍රමනියම් මහතා කීය.

එමෙන්ම ඇමෙරිකාවේ සිට පුහුණුවීම් කටයුතු සිදුකරන උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක වීසා ප්‍රශ්නයක් මත මෙවර තරගාවලියට සහභාගී නොවන බව මණ්ඩල ක්‍රීඩා ආයතනයෙන් තමන් වෙත දැනුම් දුන් බවත් ඒ පිළිබඳව උෂාන් තිවංක ගෙන් තමා පෞද්ගලිකව විමසන ලදුව හෙතෙම සඳහන් කර සිටියේ එය නිවැරදි බවයි.

තමන්ගේ ඇමෙරිකා වීසා කාලය අවසන් වුවද තමා ඉගෙනුම ලබන විශ්වවිද්‍යාලයෙන් තවදුරටත් එරට රැඳී සිටීමට අවස්ථාව ලබා දී ඇති බවත් එහෙත් ඇමරිකාවෙන් පිටව ගොස් යළිත් ඇමරිකාවට පැමිණීමට තමාට අවසර නැති බවත් උශාන් තිවංක ක්‍රීඩකයා සඳහන් කර සිටි බව සුබ්‍රමනියම් මහතා කීය.

නොයෙක් ක්‍රීඩා සංගම් තම තමන්ගේ ක්‍රීඩකයින්ට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පදක්කමක් දිනා ගත හැකි බව ප්‍රකාශ කළද, ඒ කෙසේද, ඔවුන් ගේ දක්ෂතා කවරේද යන්න තමන් විසින් මීට පෙර විමසන ලද බවත් එහෙත් ඒ එක සංගමයකින්වත් තමන්ගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා නොදුන් බවත් සුබ්‍රමනියම් මහතා පැවසීය.

උෂාන් ගෙන් හිස් වන පුරප්පාඩුව සඳහා වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කර ඇති බවත් තමන්ගේ අපේක්ෂාව දක්ෂතා ඇති ක්‍රීඩකයින් හැකි තරම් මෙවැනි ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් කිරීම බවත් ඒ සඳහා ඇති අවස්ථාව කිසි ලෙසකින්වත් බැහැර කිරීමට තම සම්මේලනය කටයුතු නොකරන බවත් සුබ්‍රමනියම් මහතා සඳහන් කළේය.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලධාරීන් 35 දෙනෙක් සහ සහාය කාර්යය මණ්ඩලය ලෙස තවත් 16 දෙනෙකුගෙන් යුත් පිරිසක් ද සහභාගී වීමට නියමිතය. නිලධාරීන් තිස් පස් දෙනෙකු සහභාගී වීම ගැටලු සහගත නොවේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ එම සියලු නිලධාරීන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධිවිධාන හා නියමිත පටිපාටිය අනුව තෝරාගෙන ඇති බවත් එම නිලධාරීන් තිස් පස් දෙනා අතරේ පුහුණුකරුවන්, භෞත චිකිත්සකයින් සහ කළමනාකරුවන් ද සිටින බවයි.

මෙවර ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රැඳී සිටීමට එක් ක්‍රීඩා ගම්මානයක් නොව ක්‍රීඩා කලාප පහක් හඳුන්වා දී ඇති අතර ඉන් ක්‍රීඩා කලාප හතරක ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නේවාසික පහසුකම් සලසා දී ඇති බව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය, ප්‍රවාහන ආදී සියලු කාරණා පිළිබඳව කිසිදු බියක් සැකක් ඇති කර ගත යුතු නැති බවත් ඔවුන්ට තිබෙන්නේ රට වෙනුවෙන් තම උපරිමය ඉටු කිරීම බවත් සම්පත් ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ද මෙම තරගාවලියට සහභාගි වන බව සම්පත් ප්‍රනාන්දු මහතා තවදුරටත් සඳහන් කර සිටියේය.

තරගාවලිය මේ මස 28 වැනිදා සිට ලබන මස 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment