පොදුරද මඬුලු දිනූ යුද විරුවෝ ඇගයෙති

228

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල – 2022 තරගාවලියේ දස්කම් දැක්ව යුද හමුදා ක්‍රීඩකයින් වන යුපුන් අබේකෝන්, පාලිත බණ්ඩාර සහ වයි.ඩී.අයි. කුමාර යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ ඇගයීමට ලක් විණි.

පැරා කවපෙත්ත විසිකිරීමේ තරග ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් එච්.ජී. පාලිත බණ්ඩාර සහ කිලෝග්‍රෑම් 55 බර ඉසිලීමේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් කෝප්‍රල් වයි.ඩී.අයි. කුමාර දෙදෙනා පෙරේදා (24 වෙනිදා) දින යුද හමුදාධිපති කාර්යාලයේදී යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමු වූ අතර, එහිදී ඔවුන් වෙත මූල්‍යමය දිරිගැන්වීම් ප්‍රදානයන් සිදුකරන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල – 2022 තරගාවලිය සඳහා මලල ක්‍රීඩා, බර ඉසිලීම, පැරා කවපෙත්ත විසිකිරීම සහ අනෙකුත් ක්‍රීඩා තරග ඉසව් සඳහා යුද හමුදා ක්‍රීඩකයින් 37 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී පැරා කවපෙත්ත විසිකිරීමේ තරග ඉසව්වෙන් මීටර් 44.20 ක දුරක් වාර්තා කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්ෂක බලමුළුවේ සැරයන් එච්.ජී.පාලිත බණ්ඩාර රිදී පදක්කමද, 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කෝප්‍රල් වයි.ඩී.අයි. කුමාර කිලෝග්‍රෑම් 55 බර ඉසිලීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමද මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මාණ්ඩලික සැරයන් යුපුන් අබේකෝන් විසින් ද දිනා ගන්නා ලදි.

එම සුහද හමුවේදී ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් පදක්කම් ලාභී ක්‍රීඩකයින්ගේ ජයග්‍රහණයන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සුභ පැතුම් පිරිනැමූ අතර, ජාත්‍යන්තර තරග ඉසව්වකදී ඔවුන් දැක්වූ ක්‍රීඩා කුසලතා සහ දස්කම් පිළිබඳව ද ප්‍රශංසා කරමින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවයන් තවදුරටත් වැඩි දියුණු කරගැනීම සඳහා අඛණ්ඩව සහාය ලබා දෙන බවට සහතික වූහ. එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මාණ්ඩලික සැරයන් යුපුන් අබේකෝන් මීළඟ නිලයට උසස් කිරීමට අවශ්‍ය උපදෙස් ද ලබා දෙන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment