පොදු ප්‍රවාහනය විධිමත් කිරීමට වහා පියවර ගන්න

165

කෙටි ධාවන කටයුතු සඳහා ද ලංගම හා පෞද්ගලික බස් සේවා ඒකාබද්ධ කාලසටහනක් යටතේ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්යාලයේ පෙරේදා (9දා) පැවති ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී පොදු ප්‍රවාහනය වහා විධිමත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාව දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටිති. ඒ සමග පොදු ප්‍රවාහනය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බවත් ඊට පහසුකම් සැලසීමෙන් ජනතාවට සහනයක් සැලසෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

දුම්රිය හා බස්රථ සඳහා අඛණ්ඩව තෙල් සැපයීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණි. ගමනාගමන මණ්ඩලයට අයත් ඉන්ධන හල් මගින් රාත්‍රි කාලයේ පුද්ගලික බස්රථ සඳහා ඉන්ධන සැපයීමට පියවර ගැනීමට ද තීරණය විය.

Park & Drive ක්‍රමය ව්‍යාප්ත කිරීමටත් ඒ සඳහා රථවාහන ගාල්කිරීමේදී අයකරන ගාස්තු අඩු කිරීමටත් තීරණය කරනු ලැබීය. තෝරාගත් දුම්රිය ස්ථාන ආසන්නයේ රථවාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීමේ හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා පැවසීය.

ලංගම සහ පෞද්ගලික බස්රථ සඳහා දැනට ක්‍රියාත්මක ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය කෙටි ධාවනය සඳහා යොදා ගැනීමටත් යෝජනා කෙරිණි. කාර්යාල සේවය ඉලක්ක කරගනිමින් නව දුම්රිය ගමන් වාර ඇරඹීමට සහ දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා මැදිරි සංඛ්‍යාව වැඩි කිරීමටත් පියවර ගැනේ.

ලංගම සේවක වැටුප් ගැටලුව විසඳීමට එකඟතාව පළ වූ අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නුදුරේදීම ඉදිරිපත් කිරීමට ද තීරණය කෙරිණි.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත ඉඩම් ආහාර භෝග වගා සඳහා වසරක කාලයකට බදු දීමට සැලසුම් කර තිබේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ගොවි සමිති සඳහා ඉතා සුළු බදු මුදලක් යටතේ අදාළ ඉඩම් ලබාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පාසල් වෑන් සේවයේ මේ වනවිට ගාස්තු වැඩි වී ඇති නිසා අඩු වියදම් සිසුසැරිය බස් සේවාව වැඩි කිරීමට තීරණය කර ඇති බවද ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් ආර්. ඩබ්. ආර්. පේමසිරි යන මහත්වරු, රේඛීය ආයතන ප්‍රධානීහු, පෞද්ගලික බස් සංගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment