පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ පිරිමි අභියෝග කුසලානය ශී‍්‍ර ලංකාවට

360

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට සමගාමීව උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් අගනුවර දී ක‍්‍රියාත්මක කෙරුණු පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේ පිරිමි දෙවන අනුශූරතාවය දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද අභියෝග කුසලාන ට හිමි කම් කියන්නට ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරග ඉතිහාසය තුළ ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ක‍්‍රීඩකයන් ප‍්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාව ලෙස මෙය පිළිගැනෙයි. ක‍්‍රීඩකයින් 10 දෙනකුගෙන් සැදුම්ලත් වූ මෙවර ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගනිමින් ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට සමත්වීම කැපී පෙනුණි.

චින්තන ගීතාල් විදානගේ, ඉන්දික චතුරංග දිසානායක, මනෝජ් මධුවන්ත විජේසිංහ සහ තිලංක විරාජ් පළගසිංහ ලෝකඩ පදක්කම් ලාභී එම ක‍්‍රීඩකයින් වෙති.

කි:ග‍්‍රෑ:73 ට අඩු බර පන්තිය යටතේ තරග වදිමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඉන්දික චතුරංග දිසානායක සමත් වූ අතර ඒ සඳහා පැමිණි ගමනේදී ස්නැච් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 130 ක්ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 156 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 286 ක සමස්ත බර එකතුවක් සටහන් කළේය.

මනෝජ් මධුවන්ත විජේසිංහ කිලෝ ග‍්‍රෑම් 67 ට අඩු බර පන්තිය යටතේ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් කැපී පෙනුණි. එහිදී ස්නැච් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 113 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 141 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 254 ක බර එකතුවක් වාර්තා කර ගැනීමට මනෝජ් මධුවන්ත විජේසිංහ ට හැකි විය.

කිලෝ ග‍්‍රෑම් 81 ට අඩු බර පන්තිය යටතේ තරග වදිමින් චින්තන විදානගේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ඔහු එහිදී ස්නැච් ක‍්‍රමයට කි:ග‍්‍රෑ: 134 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කි: ග‍්‍රෑ:166 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 300 ක බර එකතුවක් සටහන් කළේය.

ස්නැච් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 116 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 145 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 261 ක් උසුලමින් මෙවර ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට තිලංක විරාජ් පළගසිංහ සමත් විය. ඒ පිරිමි කිලෝ ග‍්‍රෑම් 61 ට අඩු බර පංතිය යටතේ තරග වදිමිනි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස සමස්ත තරගාවලියේ දෙවන අනුශූරතාව ශ‍්‍රී ලංකාව සතු විය.

මේ අතර වාරයේ සුවිශේෂ දස්කම් අතරට පැමිණි ශ‍්‍රීමාලී සමරකෝන් රන් පදක්කමක්ද තිමාලි හපුතැන්න රිදී පදක්කමක් ද නදීෂානි රාජපක්ෂ ලෝකඩ පදක්කමක් ද දිනා ගනිමින් මෙරට ක‍්‍රීඩිකාවන් අතරේ කැපී පෙනුණි.

මෙවර තරගාවලියට එක්ව සිටී ශ‍්‍රී ලංකා කණ්ඩායම ක‍්‍රීඞීකාවන් සංඛ්‍යාව 09 කුගෙන් සමන්විත විය.

ශ‍්‍රීමාලී සමරකෝන් කිලෝග‍්‍රෑම් 45 ට අඩු බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීම සඳහා පැමිණි ගමනේදී ස්නැච් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 58 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 78 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 136 ක් එස වීමට සමත් වූ අතර තිමාලී හපුතැන්න කාන්තා කිලෝ ග‍්‍රෑම් 87 ට වැඩි බර පන්තිය නියෝජනය කරමින් ස්නැච් ක‍්‍රමයට කි:ග‍්‍රෑ: 83 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කි: ග‍්‍රෑ: 106 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 189 ක බර එකතුවක් සටහන් කරමින් රිදී පදක්කමට හිමිකම් කීවාය.

එමෙන්ම, කිලෝ ග‍්‍රෑම් 61 ට අඩු බර පන්තිය යටතේ ස්නැච් ක‍්‍රමයට කි:ග‍්‍රෑ: 74 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කි: ග‍්‍රෑ: 91 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 165 ක දක්ෂතාවක් ප‍්‍රදර්ශනය කරමින් එකී ලෝකඩ පදක්කම දිනා ගැනීමට නදීශානි රාජපක්ෂට හැකි විය.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විසින් දිනා ගන්නා ලද වැඩිම පදක්කම් සංඛ්‍යාව ද මෙවර සටහන් විය. එය පදක්කම් සංඛ්‍යාව 07 ලෙසිනි.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියට සමගාමීව ක‍්‍රියාත්මක කෙරුණු ලෝක ශූරතා තරගාවලියේ දී එකදු පදක්කමක් හෝ දිනා ගැනීමට මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඞීකාවන් හට නොහැකි වූහ.

තරගාවලියට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (19 වැනිදා) අලූයම දිවයිනට පැමිණියේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment