පොපි සතිය අතරේ ඩග්ලස් මුන්රෝ ලංකාවට: රුසියාවේදී ශවේන්ද්‍ර ඉලක්කය අල්ලයි

1724

ෆ්ලැන්ඩර්ස් බිම් යායේ පොපි මල් පිදී
මළ සලකුණු අතරින් පේළි සැදී
කවුරුන්ද අප කියාදෙමින්
උදානයේ ජය ගී ගායනා අතර
තුවක්කුවේ නාද මුසුව
දැන් මළවුන් අතර වුවත්
ඊයේ ජීවිතය පුදා
ආදරය කළා, ආදරය කළා,
ෆ්ලැන්ඩර්ස් බිමේ වැතිර වැතිර
සතුරු බලය පරදා
පන්දම විසි කළෙමු ඉහළ
එය දෑතට රැගෙන ඉතිං
දිනන්න අප ගිය මාවත
ෆ්ලැන්ඩර්ස් පොළොවේ පිදී ඇත පොපි
අවදියෙන්ය අප ඒ මල් පැහැගෙන

ලූතිනන් කර්නල් ජෝන් මැක්රේ, 1915 මැයි 3 වෙනිදා ලියූ මෙම කවිය සබැඳි ඇත්තේ ලෝක පොපි මල් සැමරුම සමගය. ප‍්‍රංශයේ උතුරු දිග ෆ්ලාන්ඩර්ස් සහ පිකාඩි ගම් පෙදෙස් පළමු ලෝක මහා සංග‍්‍රාමයේ දරුණු ප‍්‍රහාරයට මැදිව සපුරා විනාශ වී මඩ ගොහොරු වී ගියේය. දස දිග මළ කඳන් සහ රුධිරය විසිර ගොස් අමු සොහොනක් බවට දෙනුවරම පත්ව තිබුණි.

පසුදාට පහන් විය. මියගිය සොල්දාදුවන්ගේ දේහයන් මිහිදන් කළ සොහොන් මත රත් පැහැ පොපි මල් ලක්ෂ ගණනක් එක යායට පිපී මද සුළෙඟ් නැළවෙන්නට විය.

ඒ 1918 වසරයි.

රාජකීය කැනේඩියානු යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුවේ වෛද්‍ය ඒකකයේ සේවය කළ ලූතිනන් කර්නල් ජෝන් මැක්ක්රේ මේ ප‍්‍රදේශයේ වූ යුද ව්‍යවසනයෙන් මහත් සේ කම්පා විය. යුද්ධයේ අමානුෂික බවින් සසල වූ ඔහු මියයන විටද මුමුණා ඇත්තේ, කියන්න ඔවුන් හට මියැදුන අප කෙරෙහි විශ්වාසය කඩ කළොත් ඔබ වැඩුනත් පොපි ෆ්ලාන්ඩර් බිම් යායේ නිදි නොගන්නෙමු සදහටම අපි යන්නයි.

පළමුවන ලෝක සංග‍්‍රාමය ඇරඹෙන්නේ ක‍්‍රි.ව. 1914 දී ජර්මනියේ කයිසර් විහෙල්ම් රජු මහා බි‍්‍රතාන්‍යයට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කිරීමෙනි. පුවසර ගණනක් මුළුල්ලේ සෙබළුන් දහස් ගණනකගේ ලේ, කඳුළු, දහඩිය හා ජීවිත මැදින් ගලා ගිය ඒ සටන නිම වන්නේ 1918 නොවැම්බර් 11 වැනිදා අත්සන් තබන ලද, තාවකාලික යුධ නිමා කිරීමේ ගිවිසුම මඟිනි. 1918 නොවැම්බර් 11 දින 1100 පැයට සිවුවසරක් පුරාවට පළමු ලෝක යුද්ධය නිමා විය. යුද්ධයෙන් බේරී දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වූ, ඉතිරි පිරිස් ගම් බිම් බලා පිය නඟන්නට විය. යුද පීඩාවෙන් හෙම්බත්ව වයසට වඩා මහළු වූ මේ පිරිස එතෙක් හඳුනා නොගත් සාමය ප‍්‍රාර්ථනා කරන්නට විය.

පොපි සතිය අතරේ ඩග්ලස් මුන්රෝ ලංකාවට: රුසියාවේදී ශවේන්ද්‍ර ඉලක්කය අල්ලයි

ලූතිනන් කර්නල් මැක්ක්රේ ගේ සේවය පසසමින් අමෙරිකානු තරුණ සංගමයක යුද ලේකම්වරියක ලෙස කටයුතු කළ මොයිනා මිචෙල් මහත්මිය ‘‘දැන් රතු පොපි සහ ගිණිසිළුව පළඳින්නෙමු ප‍්‍රාණාමය ලෙස අප මියැදුනන්ගෙ”ලෙසින් පිළිතුරු පැදි පෙළක් ලිව්වාය.

පළමු වතාවට යුද්ධයෙන් මියගිය විරුවන් සිහි කළ දිනයේ ඇයද පොපි මලක් ගෙන පැළඳ මිතුරන් අතරේ පොපි මල් විකුණා ඉන් ලද මුදල මියගිය රණවිරුවන්ගේ පවුල්වල සුබසාධනයට යෙදවූවාය. ප‍්‍රංශ ජාතික මෙඩෙෂි ගෝරින් ඇයව දිරිමත් කරමින් කෘත‍්‍රිම සිල්ක් පොපි මලක් නිපදවා ඒවා විකුණා ලැබූ මුදල් මියගිය රණවිරුවන්ගේ පවුල්වල සුබසාධනයට යෙදවූවාය. ඒ පොපි මලේ කතාවයි.

මේ වීරයන්ගේ යශෝරාවය දසත විදාලමින් පොපි මල් පූදීන සමයයි.

ලංකාවේ පොපි සැමරුම වර්ෂ 1944දී ආරම්භ විය. මෙවර පොපි මල් සැමරුම නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැළඳවීම පසුගියදා සිදුවිය. ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් ලූතිතන් කර්නල් අජිත් සියඹලාපිටිය, භාණ්ඩාගාරික මේජර් ශාන්තිලාල් කංකානම්ගේ, අනුස්මරණ කමිටු සභාපති ලූතිතන් කර්නල් ඒ. දීපාල් සුබසිංහ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පළමුවන හා දෙවන ලෝක යුද්ධයේදී මෙන්ම දෙමළ ත‍්‍රස්තවාදයට එරෙහිව සටනේදී ජීවිතය පූජා කළ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් 2021 පොපි සැමරුම නොවැම්බර් මස 14 වන දින පෙරවරුවේ විහාර මහා දේවී උද්‍යානයේ පිහිටා ඇති, ලෝක යුද විරු අනුස්මරණ ස්මාරකය අබියසදී පැවැත්වීමට නියමිතය. සෑම වසරකම නොවැම්බර් මස 11 වෙනිදා ලෝකයේ බොහෝ රටවල් පොපි සැමරුම සිදුකරන අතර, ශ‍්‍රී ලංකාවේ ද නොවැම්බර් මස 11ට ආසන්න ඉරු දිනක මෙම සැමරුම පවත්වයි. ශ‍්‍රී ලංකා පාබල හමුදාවේ තිස් දෙවැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබුවේ, පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදීය. පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යාපනය ආරක්ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු, ශ‍්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බි‍්‍රගේඩියර් ටී. සී. කේ. පීරිස් විසින් පිළිගැනීමෙන් අනතුරුව මෙම උත්සවය ආරම්භ විය.

යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ රුසියානු සංචාරය මෙම සතියේ වාර්තා වූ විශේෂ හමුදා ඉසව්ව විය, ශ‍්‍රී ලංකාවේ සංචාරයක් සඳහා රුසියානු එක්සත් සමූහාණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප‍්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් පැමිණියේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය. ඔහුගේ පැමිණීමෙන් පසු ශ‍්‍රී ලංකා හමුදාපතිවරයා වෙත ද රුසියාවේ සංචාරයක් සඳහා ආරාධනය කර තිබූ අතර, එයට ප‍්‍රතිචාර දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය සති අන්තයේ රුසියාව බලා පිටත්ව ගියේය. ලෝකයේ බලවන්ත හමුදාවක් සහිත රුසියාව වෙත පා තබන ලද ශ‍්‍රී ලංකා යුද හමුදාපතිවරයා වෙත රුසියානු හමුදා දක්වන ලද සමාචාරය ජාත්‍යන්තර මාධ්‍ය අවධානය දිනා ගන්නා තරමට ප‍්‍රබල වි තිබුණි. ජයග‍්‍රාහී යුද සේනාධිපතිවරයෙක් ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා භාජනය වීම සහ ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක පද්ධතිය පිළිබඳව රුසියානු උනන්දුව මෙම පිළිගැනීම මගින් මූර්තිමත් කළ බව කිව හැකිය.

රුසියානු හමුදාව විසින් මෑත කාලීනව පිරිනැමූ ඉහළම සම්මාන ආචාර පෙළපාලියක ගෞරවාචාරය ශ‍්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි සහ යුද හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත එහිදී පිරිනමනු ලැබුවේ ඛණ්ඩ හතරකින් සහ හමුදා තූර්යවාදක කණ්ඩායමකින් සැදුම් ලත් සම්මාන ආචාර පෙළපාලියකිනි. රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප‍්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් ඇතුළු හමුදා ප‍්‍රධානීන්ගේ සම්මාන සහ පිළිගැනීම් වලින් පසුව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මොස්කව් ක්‍රෙම්ලිනයේ ඇලෙක්සැන්ඩ්‍රොව්ස්කි උද්‍යානයේ රුසියානු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළේය.

රුසියාවේ සංචාරය අතරතුර මොස්කව් නුවර පිහිටි උසස් ඒකාබද්ධ යුද අණදෙන පාසලේ හි සේනාවිධායක මේජර් ජෙනරාල් රෝමන් බින්යුකොව්, නාරෝ – ෆොමින්ස්ක් ප‍්‍රදේශයේ පිහිටි 4 වන ආරක්ෂක සන්නද්ධ රථ සේනාංකයේ සේනාංකාධිපති සහ මිහයිලොව්ස්කායා පිහිටි හමුදා කාලතුවක්කු විද්‍යාපීඨ සේනාවිධායක ද හමුවූහ. මෙම අවස්ථාව සඳහා යුද හමුදාපතිවරයා සැරසී සිටි ඇඳුම, ශ‍්‍රී ලංකා යුද හමුදාව වෙත අලූතෙන් එක්වූ ශීත නිල ඇඳුමක් ලෙස හැඳින්විය හැකිය.

රුසියානු හමුදාවේ ආරක්ෂක සන්නද්ධ රථ සේනාංකවලින් එකක් වන මොස්කව් නුවරට යාබදව පිහිටි ‘නිරන්තර සූදානම’ (constant readines) සේනාංකය ලෙස ප‍්‍රකට 4 වන ආරක්ෂක සන්නද්ධ රථ සේනාංකයේ සංචාරයක ද හමුදාපතිවරයා නිරත විය.

පොපි සතිය අතරේ ඩග්ලස් මුන්රෝ ලංකාවට: රුසියාවේදී ශවේන්ද්‍ර ඉලක්කය අල්ලයි

ශ‍්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා ඔක්තෝබර් මස 24 දින දිවයිනට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයට අයත් නෞකා කිහිපයක් සහ ඉන්දියානු වෙරළාරක්ෂක වික‍්‍රම් යන පුහුණු නෞකා ශ‍්‍රී ලංකා නාවික හමුදාව සමඟ කොළඹදී සහ ත‍්‍රිකුණාමලයේදී පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසය අවසන් කරමින් 28 දින දිවයිනෙන් පිටත් විය. මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයට සමඟාමීව, ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප‍්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා ද සහභාගී වීම විශේෂත්වයකි.

ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ‍්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්ෂක ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව, නිල වශයෙන් භාර ගැනීම ඔක්තෝබර් 26 වැනිදා, ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප‍්‍රාන්තයේ, ‘සියැට්ල්’ වරායෙහි පිහිටි ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක කඳවුරේදී සිදු විය. මේ අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානී රියර් අද්මිරාල් වයි. එන්. ජයරත්න සහභාගී විය. ඒ අනුව, ශ‍්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට පී 627 ධජ අංකය යටතේ එක්වන මෙම නෞකාවේ, ප‍්‍රධාන කුඹ ගස එදින සිට ශ‍්‍රී ලංකා ධජයෙන් අභිමානවත් වනු ඇත.

‘Hamilton Class High Endurance Cutter’ යන නෞකා පන්තියට අයත් දෙවන නෞකාව ලෙස ශ‍්‍රී ලංකා නාවික හමුදාවට ලබා ගන්නා ලද මෙම නෞකාව දිගින් මීටර 115ක්, උපරිම වේගය පැයට නාවික සැතපුම් 29ක් ද එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 14000ක දුරක් ආවරණය වන පරිදි ආවේක්ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 187ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නවීන තාක්ෂණික උපාංග හා පහසුකම් වලින් සමන්විත වේ. එමෙන්ම මෙම නෞකාව ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව මෙහෙයුම් කටයුතු සිදුකළ වකවානුවේ, එරට මුහුදු කලාපයේ සිදු වූ නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය, නීති විරෝධී සංක‍්‍රමණ කටයුතු මෙන්ම ටොන් 11.5 කට අධික කොකේන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුම් සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇත.

1987 වර්ෂයේදී ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ 05 වන බඳවා ගැනීමේ නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්වූ රියර් අද්මිරාල් ජයන්ත ගමගේ, සිය වසර 34 කට අධික නාවික හමුදා සේවා කාලයට පසුගිය දා සමුදුන්නේය. ඔහු නාවික පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ නාවික අහාර හා නිළ ඇඳුම්, ඒකාබද්ධ සැපයුම් කළමනාකරණ පද්ධතියේ අධ්‍යක්ෂ, ශ‍්‍රීලංනානෞ විදුර ආයතනයේ ආඥාපති, නාවික අණභාර නිලධාරී ත‍්‍රිකුණාමලය දකුණ, අධ්‍යක්ෂ ක‍්‍රීඩා, උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති සහ ගිණිකොන නාවික විධානයේ ආඥාපති ආදී ප‍්‍රමුඛ නිලතල දරමින් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment