පොරොවාගෙන කහ සිවුරක් ගේම් දුන්න අමුතු කතක්….. ලක්‍ෂ ගාණක් වංචා කර රත‍්‍රං බඩු පැහැරගෙන

1401

නදීෂා හේමමාලි මල්වාන, යබරලූව ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. රැකියාවක් නොකළ ඇය පේ‍්‍රම සම්බන්ධතාවයක් මත විවාහ වූවාය. ඒ දැනට වසර කිහිපයකට පෙරයි.

 වසර කිහිපයක් ගතවෙද්දී ඔවුන්ගේ යුගදිවිය ඉතා කටුක එකක් බවට පත්විය. ඒ ඔවුන් දෙදෙනා අතර ඇති වූ ගැටුම් නිසාය. ඒ ගැටුම්වලට ප‍්‍රධාන හේතුව වූයේ නදීෂාගේ සමහර ක‍්‍රියාකාරකම්ය. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ ස්වාමිපුරුෂයා ඇයව හැරගොස් වෙනම ජීවත් වීමයි. ඉන්පසු නදීෂා තනිකඩ ජීවිතයක් ගත කළාය.

 මාස කීපයක් ගතවෙද්දී ඇය අතේ තිබූ මුදල් ක‍්‍රමක‍්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගත්තාය. අවසානයේ ඇයට ජීවත්වීමටද ක‍්‍රමයක් නොමැති විය. හරිහමන් අධ්‍යාපනයක් නොලද නිසා ඇයට ස්ථිර රැකියාවක් සොයා ගැනීමටද නොහැකි විය.

 ‘‘ඉදිරියේදී ජීවත් වන්නේ කෙසේද?” ඇයගේ සිතට නැඟුණු එකම පැනය වූයේ එයයි. එමනිසා ඇය දස අතේ කල්පනා කළේ මුදල් සොයන ආකාරයක් පිළිබඳවයි. එලෙස කල්පනා කළ ඇය අවසානයේ මෙලෙස සිතුවාය.

 ‘‘දැන් කරන්න තියෙන්නේ එකම දෙයයි. ඒ මෙහෙණින් වහන්සේ කෙනෙක් විදිහට හැසිරෙන්න ඕනා. එතකොට පිට පළාත්වලට ගිහිල්ලා සල්ලි එකතු කරන්න පුළුවන්. කවුරුත් සැක හිතන්නෙත් නැහැ. ජීවත්වෙන්න තියෙන හොඳම විදිය ඒක තමයි දැන්.”

 ඒ අනුව ඇය බියගම රග්ගහවත්ත ප‍්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන මෙහෙණින් වහන්සේලා අඳින සිවුරු කට්ටල දෙකක් ද මිලදී ගත්තාය. ඉන්පසු කොණ්ඩය කොටට කපා ගත් ඇය සිවුරක් ද පොරවාගෙන කතරගම බලා පිටත් වූවාය. එලෙස පිටත් වූ ඇය කතරගම ප‍්‍රදේශයේ භික්ෂුණී ආරණ්‍ය වාසයක දින කිහිපයක් නතර වූවාය.

 එම දින කිහිපය තුළ ඇය භික්ෂුණීන් වහන්සේ නමක් හැසිරෙන අයුරුද හොඳින් නිරීක්ෂණය කළාය. එලෙස නිරීක්ෂණය කරගත් ඇය එම භික්ෂුනි ආරණ්‍යයෙන් මාතර බලා යාමට පිටත් වූවාය. එලෙස යන දිනයේ දී එම ආරණ්‍යයේ සිටි භික්ෂුණින් වහන්සේලා දෙනමකගේ මුදල් ද ඇය සොරකම් කළාය.

 මාතර පැමිණි ඇය තවත් භික්ෂුනි ආරණ්‍ය සේනාසනයක නතර වූවාය. එලෙස නතර වූ ඇය දිවා කාලයේ දී එම ප‍්‍රදේශයේ ගම් නියම්ගම්වල ඇවිදිමින් විවිධ බොරු හේතු පවසා මුදල් එකතු කළාය. එයට අමතරව දායක දායිකාවන්ගේ වටිනා භාණ්ඩද සොරකම් කිරීමට පුරුදු වූවාය.

 සති කීපයක් එලෙස ගතකළ ඇය ඉන්පසු තවත් විහාරස්ථානයකට හෝ ආරණ්‍ය සේනාසනයකට පැමිණියාය. එලෙස පැමිණෙන ඇය සුපුරුදු පරිදි ගම් නියම්ගම්වල ඇවිද දායක දායිකාවන් රවටා මුදල් සහ භාණ්ඩ සොරකම් කළාය.

 මාස කීපයක් ගතවෙද්දී ඇය මිනිසුන් රවටා විශාල මුදලක් උපයා තිබුණි. එයට අමතරව ජංගම දුරකථන, රත්රන් බඩු ආදිය ද සොරකම් කර තිබුණි. එම සොරාගත් බඩු භාණ්ඩද ඇය විවිධ ස්ථානවලට උකස් කළාය.

 ඒ අතර මාසයකට දින කිහිපයක් බියගම ප‍්‍රදේශයේ මිලදී ගත් කාමරය වෙත ද ඇය පැමිණ නැවතී සිටියාය.

 දිනක් ඇය ජාඇල ප‍්‍රදේශයේ මෙහෙණින් වහන්සේ කෙනෙකු ලෙස වෙස් වලාගෙන සුපුරුදු පරිදි කාන්තාවන්ගෙන් මුදල් එකතු කරමින් සිටියාය. ඒ අතර තරමක පොහොසත් යැයි කිව හැකි කාන්තාවක් ලස්සනට ඇඳ පැළඳ සිටින අයුරු ඇය දුටුවාය. වහාම ඇය එම කාන්තාව අසලට පැමිණ මෙලෙස පැවසුවාය.

 ‘‘ කොහෙ යන්නද මේ උපාසක නෝනා ලැහැස්ති වෙලා ඉන්නේ.”

 ‘‘ අනේ මෙහෙණින් වහන්සේ ළඟට ඇවිත් කතා කරනකම් දැක්කේ නැහැ.”

 එලෙස පැවසූ ඇය මෙහෙණින් වහන්සේට නමස්කාර කළාය. නමස්කාර කළ පසු මෙහෙණින් වහන්සේ ‘‘සුවපත් වේවා” යැයි පවසමින් ඇයගෙන් මෙලෙසද විමසුවාය.

 ‘‘හදිසි ගමනක් යන්නද ඉන්නේ.”

 ‘‘අනේ නැහැ මෙහෙණින් වහන්සේ.”

 ‘‘එහෙනම් මං කියන දේ පොඞ්ඩක් අහගන්න.”

 ‘‘හා මෙහෙණින් වහන්ස.”

 ‘‘මම මෙහෙම කාටවත් කියන්න යන්නේ නැහැ. ඒත් ඔයාට මේක කියන්න ඕන කියලා මට හිතුනා.”

 ‘‘ඒ මොකක් ගැනද මෙහෙණින් වහන්ස.”

 ‘‘ඔයා ලස්සනට ඇඳල පැලඳල හිටියට ප‍්‍රශ්න ගොඩක නේද ජීවත් වෙන්නේ.”

 ‘‘ප‍්‍රශ්න නම් ටිකක් තියෙනවා මෙහෙණින් වහන්ස.”

 ‘‘ටිකක් නොවෙයි තව ඉදිරියේදී කරදර ගොඩක් ඔයාට එනවා.”

 ‘‘ඇත්තද මෙහෙණින් වහන්ස.”

 ‘‘ඔව් මට ඔයාගේ ශරීරය දිහා බැලූවහම ඒ සේරම පේනවා.”

 ‘‘මොන වගේ ප‍්‍රශ්නද එන්නේ.”

 ‘‘මට ඔයාගේ ලග්නය කියන්න.”

 ‘‘සිංහ ලග්නය.”

 ‘‘මම හිතුවා හරි. ඔයාට මාරක අපල තියෙනවා කියලා පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම රිය අනතුරකින්. ඒක නිසා ප‍්‍රවේශම් වන්න.”

 ‘‘ඔය ඇත්තද මෙහෙණින් වහන්ස.”

 ‘‘ඇයි මං බොරු කියන්නේ සිවුරකුත් පොරවගෙන. ඒ වගේ මං මේවා කියලා සල්ලි ගන්නේ නැහැ ඔයාගෙන්.”

 ‘‘අනේ එහෙම දෙයක් හිතලා කිව්වේ නැහැ මෙහෙණින් වහන්ස.”

 ‘‘මම ගොඩක් බණ භාවනා කරලා හිත දියුණු කරගෙන ඉන්නෙ. කෙනෙක් දිහා බලපුහාම මට එයාගේ සේරම විස්තර කියන්න පුළුවන්.”

 ‘‘අනේ මෙහෙණින් වහන්ස මං ගැන තව විස්තර ටිකක් කියන්නකො.”

 ‘‘හරි මම කියන්නම්. අපි යමුද වාඩිවෙලා කතා කරන්න පුළුවන් තැනකට. ගොඩක් දේවල් කියන්න තියෙනවා මට.”

 ඒ අනුව එම කාන්තාව මෙහෙණින් වහන්සේව වාඩිවී කතා කිරීමට පුළුවන් ස්ථානයකට රැගෙන ගියාය. එලෙස ගිය පසු මෙහෙණින් වහන්සේ යළි ඇයට මෙලෙස පැවසුවාය.

 ‘‘ගිය ආත්මේ ඔයා ඉන්දියාවේ තමයි ඉපදිලා තියෙන්නෙ. ඒ ගොඩක් පොහොසත් පවුලක. ඒ වගේම ඔයා ගොඩක් පින් කරලා තියෙනවා. ඒකනිසා තමයි නැවතත් මනුස්ස ආත්මයක් ලබල තියෙන්නෙ.”

 ‘‘එහෙමද මෙහෙණින් වහන්ස.”

 ‘‘ඔව්. ඔයාට ඉදිරියේදී තව ගොඩක් සම්පත් ලැබෙන්න තියෙනවා. මෙහෙම නොවෙයි ජීවත් වෙන්න ඕනා. ඒ නිසා ගිය ආත්මේ කරපු අකුසල කර්මයන් නිසා ඔයාට අපල කාලයක් උදා වෙලා තියෙනවා.”

 ‘‘ඉතින් මම මොකද කරන්න ඕනා.”

 ‘‘ඒවට කරන්න ඕන පිළියම් ටික මම කියන්නම්. ඊට කලින් ඔයා පොඩි දෙයක් කරන්න ඕනා. මේ දැන්ම.”

 ‘‘ඒ මොකක්ද මෙහෙණින්වහන්ස.”

 ‘‘දැන්ම ඔයා ඇෙඟ් තියෙන සේරම රත්තරන් බඩු ගලවන්න. ඒවා පැළඳගෙන ඉන්න කොට අපල තවත් වැඩි වෙනවා. මං කියන දේ අහලා දැන්ම ගලවලා බලන්න එතකොට ඇඟට සනීපයක් දැනෙවි.”

 ඒ අනුව ඇය ශරීරයේ තිබුණු සියලූම රත්තරන් බඩු ගලවා තම අත් බෑගයට දමා ගත්තාය. ඉන්පසු මෙහෙණින් වහන්සේ යළි ඇයගෙන් මෙලෙස විමසුවාය.

 ‘‘දැන් මොකද සනීපයක් දැනෙනවද ඇගට.”

 ‘‘ඔව් පොඩි සනීපයක් දැනෙනවා.”

 ‘‘ඒකනේ මම කිව්වේ. තව වැඩ වගයක් තියෙනවා. මම ඒ ටිකත් කියන්නම්. ඔයාගේ අපල සේරම ඉවර කරලා දෙන්නම්.’’

 තවත් පැය බාගයක් පමණ ව්‍යාජව පෙනීසිටි මෙහෙණින් වහන්සේ ඇයට විවිධ උපදෙස් ලබාදුන්නාය. එම කාන්තාව ද ඒ සියලූ උපදෙස් හිස් මුදුනින් පිළිගත්තාය. ඒ අතර එම කාන්තාවට වැසිකිළිි යාමේ අවස්ථාව පැනනැගුණි. ඒ බව ඇය මෙහෙණින් වහන්සේට මෙලෙස පැවසුවාය.

 ‘‘මෙහෙණින්වහන්ස මම වැසිකිළියට පොඞ්ඩක් ගිහින් එන්නම්. එතකං මගේ අත් බෑග් එක මෙතන තියල යන්නම්.”

 ‘‘අනේ ඒකට මොකද තියලා යන්න.”

 එම කාන්තාව තම අත්බෑගය එතන දමා අසල වැසිකිළියට ගියාය. එලෙස ඇය යනවාත් සමඟම ව්‍යාජ ලෙස පෙනීසිටි මෙහෙණින් වහන්සේ මොහොතකට පෙර එම කාන්තාව ගලවා දැමූ රත‍්‍රං භාණ්ඩ සියල්ලම ද , ඒ තිබූ මුදල් සහ ජංගම දුරකථනයද රැගෙන එම ස්ථානයෙන් පලා ගියාය.

 වැසිකිළියට ගොස් නැවත එම ස්ථානයට පැමිණි කාන්තාවට මෙහෙණින් වහන්සේ දැක ගැනීමට නොහැකි වූවාය. පුදුමයට පත්වූ ඇය වටපිට බැලූවාය. එහෙත් මෙහෙණින් වහන්සේ පෙනෙන්නට නොමැත. ඉන්පසු ඇය එම ස්ථානයේ තිබූ තම අත්බෑගය පරීක්ෂාකර බැලූවාය. එහිදී ඇයට දැනගන්නට ලැබුණේ රත්තරන් බඩු, ජංගම දුරකථන සහ මුදල් ද නොමැති බවයි.

 තමන් වංචාකාරී ගැහැනියකට හසුවී ඇති බව ඇයට තේරුම් ගියාය. ඒ අනුව ඇය බියගම පොලිසියට ගොස් මේ පිළිබඳ පැමිණිල්ලක් දැමුවාය. පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීහු මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ. පරීක්ෂණවලට අනුව පසුගිය විසිවැනිදා සැකකාර එම කාන්තාව ඇය නැවතී සිටි බියගම රග්ගහවත්ත නෙවාසිකාරයෙදී පොලිස් අත්අඩංගුවට පත්විය.

 පොලිස් අත්අඩංගුවට පත්වූ පසු ඇයගෙන් කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ දී අනාවරණය වූයේ මෙරට ප‍්‍රදේශ කිහිපයක දීම ඇය ව්‍යාජ මෙහෙණින් වහන්සේ නමක් ලෙස පෙනීසිටිමින් මෙහෙණින් වහන්සේලා සහ කාන්තාවන් රවටා මුදල්, රත්තරන් භාණ්ඩ සහ ජංගම දුරකථන සොරා ගෙන ඇති බවයි.

 ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment