පොල්දූව දී ව්‍යාපාරිකයකුට ඔළුවට වෙඩි තියලා මරලා… වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ යතුරුපැදියකින්

399

ව්‍යාපාරිකයාගේ ගොඩනැඟිල්ල මැරයකුගෙන් සින්න කර ගත් එකක්

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ගාල්ල හීනටිගල පොල්දූව ප‍්‍රදේශයේ දී ඊයේ (14 වැනිදා) පෙරවරුවේ ව්‍යාපාරිකයකුගේ හිසට වෙඩි තබා ඝාතනය කොට පලා ගොස් තිබේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ව්‍යාපාරිකයා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇත. මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි ද පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ. මියගිය ව්‍යාපාරිකයා අලූතින් මිලදී ගත් මහල් ගොඩනැගිල්ලක් අසල මිදුලේ තණකොළ කපමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි ද පොලිසිය සදහන් කරයි. මියගොස් ඇත්තේ 44 හැවිරිදි හුලූව හේවගේ සිසිර කුමාර නමැත්තකු බවට පොලිසිය හදුනාගෙන ඇත. මියගිය අය මුදල් පොලියට දීම ද සිදුකර ගෙන ගොස් ඇති අතර අදාළ ගොඩනැගිල්ල ද ඔහු ලබා ගෙන ඇත්තේ ප‍්‍රදේශයේ නමගිය අපරාධකරුවකුට මුදල් පොලියට දී එය උකසට ගෙන සින්න කර ගැනීමෙන් බව ගාල්ල ප‍්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එම ගොඩනැගිල්ල උකසට තබා මුදල් පොලියට ගත් අපරාධකරු මිනීමැරුම් සැකකරුවකු මෙන්ම මීට කලකට ඉහත සිදු වූ ගාල්ල එල්.බී. ෆිනෑන්ස් මංකොල්ලයේ ප‍්‍රධාන සැකකරුවකු බව ද පොලිසිය පවසයි.

මෙම ඝාතනය සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ස`දහා හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

සමන් ගමගේ, ගාල්ල ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි,
හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්, අහංගම සුගතපාල දීයගහගේ,
හබරාදුව ඒ.එල්.ඒ. ආරියරත්න සහ වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment