පොලිය නම් පහළට ආර්ථිකය කොහෙටද?

1463

සාමාන්‍යයෙන් උද්ධමනය අඩුවන විට ඊට අනුරූපව පොලී අනුපාත ද අඩුවේ. මේ අනුව පසුගිය කාලයේ දී උද්ධමනය අපේක්ෂිත වේගයට වැඩි වේගයෙන් අඩු වී ඇත. මේ අනුව මහ බැංකුව ද පිට පිට දෙවතාවක් සිය ප්‍රතිපත්තිමය පොලී අනුපාත අඩු කර ඇත. එනම් මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය මැයි මස 31 වැනි දින රැස් වූ අවස්ථාවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 13.00 සහ සියයට 14.00 දක්වා පදනම් අංක 250කින් අඩු කිරීමට පියවර ගත්තේය. එසේම මෙවර එනම් පසුගිය ජුලි 05 වැනිදා රැස් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 11.00 සහ සියයට 12.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික අඛණ්ඩව දෙවන වරටත් අඩුකර ඇත. සති 5 ක පමණ කාලයක් තුළ දී මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 450 කින් එනම් සියයට 4.5 කින් පහළ දමා තිබේ. මේ අනුව දැනටමත් අඩු වෙමින් පවතින බැංකු පොලී අනුපාත ඇතුළු වෙළෙඳපොළ පොලී අනුපාත තවදුරටත් ඉදිරි කාලයේ දී අඩු වීමට නියමිතය.

වෙළෙඳපොළ පොලී අනුපාත අඩු වේ

මෙලෙස දෙවන වරටත් මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම හරහා මූල්‍ය වෙළෙඳපොළ තුළ පවතින පීඩන ලිහිල් කරන අතරම 2022 වසරේදී ආර්ථික ක්‍රියාකාරකම්වල සිදු වූ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම සංකෝචනයෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම සඳහා සහායක් ලබා දෙනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. ගිය වසරේ (2022) දී ආර්ථිකය සියයට 7.8 ක ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළේය. මේ වසරේ (2023) පළමු කාර්තුවේ දී ද සියයට 11.5 ක සැලකිය යුතු ආර්ථික පසුබෑමක් වාර්තා විය. මේ පසුබෑමට ලක්ව ඇති ආර්ථික ක්‍රියාකාරකම් පණ ගැන්වීමට පොලී අනුපාත අඩු වීම ද අවශ්‍ය වේ. ඒ සඳහා සුදුසු පරිසරයක් උදා වෙමින් ගිය වසරේ (2022) සියයට 70 ක් පමණ මට්ටමකට විශාල ලෙස වැඩි වූ උද්ධමනය ජුනි මාසයේ දී සියයට 12 ක් දක්වා සැලකිය යුතු ලෙස අඩු වී ඇත. එහෙත් උද්ධමනය අඩු වීම යනු බඩු මිල අඩු වීම ලෙස වරදවා වටහා නොගත යුතුය. උද්ධමනය අඩු වීම යනු බඩු මිල වැඩි වීමේ වේගය අඩු වීමයි. ඒ අනුව සියයට 70 කින් ඉහළ ගිය බඩු මිල දැන් වැඩි වන්නේ සියයට 12 කින් වේ. මේ උද්ධමන අගය මේ මාසය අග වන විට සියයට 10 කින් මෙපිටට එනම් තනි ඉලක්කමේ අගයක් දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අනුව ඉදිරි කාලය තුළ මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාතවල අඩු වීමක් මෙන්ම ඊට අනුරූපව වෙළෙඳපොළ පොලී අනුපාතවල අඩු වීමක් ද අපේක්ෂා කළ හැකිය.

පොලී අනුපාත අඩු කිරීමේ ප්‍රතිලාභ

මහ බැංකුව සිදු කළ මේ පොලී අනුපාත අඩු කිරීම ගැන මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ මෙසේ සඳහන් වේ.

‘අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වේගවත් නිර්-උද්ධමන ක්‍රියාවලිය සහ පාලනය වූ උද්ධමන අපේක්ෂා ඇතුළු ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මූල්‍ය වෙළෙඳපොළ පීඩන ලිහිල් කරන අතරම මැදි කාලීනව ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහ උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී කිරීමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 200කින් අඩු කිරීම සහ 2023 ජූනි මස මුලදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 250කින් අඩු කිරීම මෙන්ම රජයේ සුරැකුම්පත් සම්බන්ධයෙන් පැවති අවදානම් අධිමිල මෑතකදී විශාල ලෙස අඩුවීමත් සමග වෙළෙඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන් ණය පොලී අනුපාතික, ප්‍රමාණවත් ලෙස සහ වේගවත්ව අඩු වනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි. එම නිසා, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස ලිහිල් කිරීමේ ප්‍රතිලාභ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ලබා දෙන ලෙස බැංකු සහ මූල්‍ය අංශයෙන් ඉල්ලා සිටින අතර, එමගින් ඉදිරි කාලය තුළදී ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීමට සහාය වනු ඇත. ’

මෙහිදී බැංකු විසින් වහාම සිය තැන්පතු පොලී අනුපාත අඩු කළත් ඊට සාපේක්ෂව ණය පොලී අනුපාත අඩු කරන්නේ නැත. එය කරන්නේ ඉතා සෙමිනි. මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ බැංකු විසින්ම පොලී අනුපාත ප්‍රමාණවත් ලෙස අඩු කරන්නේ නැත්නම් ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකුවලට එරෙහිව නියාමන ක්‍රියාමාර්ග ගන්නා බවයි.

උද්ධමනය අඩුවීම

නිර්-උද්ධමන ක්‍රියාවලිය එනම් උද්ධමනය අඩු වීමේ ක්‍රියාවලිය සඳහා තවදුරටත් සහාය වන සාධකයක් වන්නේ මේ වසරේ (2023) මේ දක්වා කාලය තුළදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීමයි. එහෙත් එහි හිතකර බලපෑම මිල මට්ටම තුළින් තවමත් ප්‍රමාණවත් ලෙස පිළිබිඹු වී නැත. මහ බැංකුවේ නවතම පුරෝකථනවලට අනුව මතුපිට උද්ධමනය තවදුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කරන අතර 2023 තුන්වන කාර්තුව ආරම්භය වන විට තනි අගයක මට්ටමට ළඟා වී දිගුකාලීනව මැදි තනි අගයක මට්ටමේ ස්ථායී වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. මෙසේ උද්ධමනය අඩු වීමේ ක්‍රියාවලියට බලපාන හේතු කිහිපයකි.

  1. දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල පසු බලපෑම,
  2. බලශක්ති සහ ආහාර මිල ගණන්වල අපේක්ෂිත අඩු වීම හා එමගින් අනෙකුත් අංශවලට වන බලපෑම
  3. විනිමය අනුපාතිකය අතිප්‍රමාණය වීම හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් අඩුවීම
  4. හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම

මෙසේ උද්ධමන අපේක්ෂා පාලනය වීම, මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීම සඳහා මහ බැංකුවට අවශ්‍ය අවකාශය සපයයි. මේ හරහා පොලී අනුපාත අඛණ්ඩව පහළ ගොස් එය ආර්ථික ක්‍රියාකාරකම් පණ ගැන්වීමට ද අවශ්‍ය ශක්තිය ලබාදෙනු ඇත. මේ අනුව මේ වසරේ (2023) අවසන් කාර්තුවේ දී ආර්ථිකයේ පවතින මේ ඍණ තත්ත්වය ධන තත්ත්වයකට පරිවර්තනය වනු ඇත. අවසන් කාර්තුවේ ධන ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට ඉඩ ඇතත්, 2023 සමස්ත වර්ෂයේ ආර්ථික වර්ධනය ගිය වසරට වඩා අඩු ඍණ අගයක් ගනු ඇත. මේ පසුබිම තුළ අපට ධන ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට හැකි වනු ඇත්තේ ලබන (2024) වසරේ සිටය. මෙසේ මේ වසර (2023) අග සිට ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වී මැදිකාලීනව ආර්ථික වර්ධනයේ විභව නිෂ්පාදන මට්ටම කරා ළඟා වීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුව පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment