පොලිස්කරු සහ පොම්පකරු

1007

පොතුවිල් සහ ඌරගස්මංහන්දිය යන ප්‍රදේශවල පිහිටි ඉන්ධන පෝලිම්වල සිටි පුද්ගලයන් දෙදෙනකු පෙරේදා එම පෝලිමේදී ම මියයෑමත් සමඟම තෙල් පෝලිම් මරණ සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් තිබේ. විවිධ පුද්ගලයෝ විවිධ තැන්වලදී මියයති. ඇතැම්හු අහස් යානාවලත්, තවත් සමහරු සබ්මැරීන් තුළත් මරණයට පත්වෙති. මෙය කර්ම ශක්තිය ලෙස අර්ථ නිරූපණය කළ හැකිය. එහෙත් එම කර්ම ශක්තිය දිගින් දිගටම තෙල් පෝලිම්වල ඵලදීමට යෑම ආණ්ඩුවට හොඳ නැත. මිනිහෙක් වාහනයකට තෙල් ගසාගැනීම සඳහා පෝලිමට එන්නේ එතැනින් ගෙදර ගොස් තම ගමන් බිමන් යෑමට මිස පරලොව යෑමට නොවේ. එහෙත් තෙල් පෝලිම් යුගය පටන් ගත් දා සිට මාස තුනක පමණ කාලයක් තුළ තෙල් පෝලිමට පැමිණි 25 දෙනකුට ගෙදර නොගොස් කෙළින්ම පරලොව යෑමට සිදුවිය. මේ තරම් ජීවිත සංඛ්‍යාවක් කැපකිරීමෙන් පසු අද ද තෙල් පෝලිම් එලෙසම පවතී. තෙල් ගසා ගැනීම පිණිස වාහන දහසක් පැමිණියහොත් ඒවායින් ත්‍රීවීලර් 200 කටත්, මෝටර් බයිසිකල් 200 කටත්, වාහන 200 කටත් තෙල් පොම්පකරු එදාට තෙල් ගැසීම ‘ක්ලෝස්’ කර දමනු ලැබේ. තෙල් පෝලිම්වල පොලිසියේ හැසිරීම බෙහෙවින් විවේචනයට තුඩු දී තිබේ. ඇතැම් පොලිසිවල ඕඅයිසීලා තෙල් විකුණති. තවත් පොලිසිවල ඕඅයිසීලා ගෑස් විකුණති. මේ දෙකටම අමතරව ඔවුහු තම හිතවතුන්ට සහ තම තමන්ට සලකන මුදලාලිලාට නීතිය හා සාමය අඩු මිලට අලෙවි කරති. සමහර අවස්ථාවක පොලිසියේ ඕඅයිසී තෙල් පොම්පකරුගේ භූමිකාව නිරූපණය කරයි. එවිට පොම්පකරුට සිදුවන්නේ පොලිසියට ගොස් ඕඅයිසීගේ පුටුවේ ඉඳගෙන පොලිස් රාජකාරි කිරීමටය. යුද හමුදාව හෝ නාවික හමුදාව මේ ආකාරයෙන් තකතීරු ලෙස සහ තක්කඩි ලෙස හැසිරෙන්නේ නැත. පොලිසියේ වැරදි හැසිරීමට ප්‍රායෝගික හේතුවක් ඇත. මහජනතාව සමඟ උරෙනුර ගැටෙන ලොකුම සිවිල් ආයතනය පොලිසිය වේ. පොලිසියේ සමස්ත කේඩරය 84000 කට කිට්ටුය. ජනතාව සමඟ එදිනෙදා වැඩකිරීමට යෑමේදී පොලිසිය සහ ජනතාව අතර විවිධ සම්බන්ධතා හට ගනී. විශේෂයෙන් පොලිසිය සහ මුදලාලිලා අතර ඇති විය හැකි සම්බන්ධතාව ඉතා පුළුල් ය. මෙවැනි මුදලාලි කෙනෙක් තෙල් පෝලිමට වාහනය ගෙනා විට පොම්පකරු බවට පත්වන ඕඅයිසී ව්‍යාපාරිකයාට ‘පෙට්‍රල් ෆුල්ටෑන්ක් එකක්’ ගසාදීම නොවැළැක්විය හැකිය. ඕඅයිසී ඒ වෙලාවේදී මඟහැරියහොත් මුදලාලි තුළ ඕඅයිසී කෙරෙහි වෛරයක් හටගනී. එතැන් පටන් මුදලාලි උත්සාහ කරන්නේ පෙත්සම් ගසා ඕඅයිසී වවුනියාවට හෝ කිළිනොච්චියට මාරු කිරීමටය. ශ්‍රී ලංකාවේ සමාජය ඉතා නරක ලෙස පිරිහීමට පත්ව තිබේ. ලංකාවේ සිටින ජනතාව ඉතා යහපත් අහිංසකයන් පිරිසක් බවත්, ඔවුන් සම්බන්ධයෙන් ඉතා කරුණාවෙන් කටයුතු කළ යුතු බවත් ඊයේ පෙරේදා දවසක භික්‍ෂුන් වහන්සේ නමක් දෙසා වදාළහ. උන්වහන්සේ මෙසේ දෙසනවා ඇත්තේ උන්වහන්සේගේ දායකයන් යහමින් දානේ සප්ලයි කිරීමත්, වෙන වෙන යටිතල පහසුකම් සැපයීමත් නිසා වීමට පුළුවන. උන්වහන්සේ පන්සලෙන් එළියට බැස සිය දායක වළල්ලෙන් මිදී පිටිසරබද පළාතකට වැඩම කර එහි තිබෙන දුගී පන්සලක් ගැන විමසා බැලුවහොත් පෙනී යන්නේ ඒ පන්සල්වලට බත් ඇටයක් දන් දෙන්නට කෙනකු නැති බවත්, එහි වැඩසිටින හාමුදුරුවරු හත්අට දෙනා බතක් පිස පොල්සම්බෝලයක් තලා වළඳන බවත් ය. කොළඹ 7 සිටින භික්‍ෂුන් වහන්සේ මවන තව්තිසා දිව්‍යලෝකය උන්වහන්සේට පමණක් සීමා සහිත වූ තැනකි. ඒ ගැන වැඩියෙන් කතා කළහොත් භික්‍ෂුන් වහන්සේ ‘දිවයින’ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන බැවින් අප ඒ ගැන තවදුරටත් කියන්නේ නැත. අපේ කතාව තෙල් පෝලිම ගැන ය.

ඉන්ධන ප්‍රශ්නය විසඳීම සඳහා ආණ්ඩුව විසින් ඉන්ධන හැර අනෙකුත් සියලුම දේ සූදානම් කර ඇත. මුලින්ම ඔවුහු තෙල් ටෝකන් එකක් නිකුත් කළහ. එහෙත් ටෝකන් එකෙන් වාහන දුවන්නේ නැති නිසා එය හරියටම හරි ගියේ නැත. දෙවනුව ඔවුහු වාහනයේ අන්තිම නොම්බරයට තෙල් ගැසීමේ වැඩපිළිවෙළක් ගෙන ආහ. එය සාර්ථක වූ නමුත් පැරණි තෙල් පෝලිම හා සමානවම ෂෙඩ් එකේ තෙල් ඉවර වූ විට වැඩේ අවසන් විය. තුන්වෙනුව හඳුන්වා දෙන ලද්දේ QR කේතයයි. මේ කේතය සමහර විට ඕපන් කරගත හැකි නමුදු සමහර ස්මාර්ට් ෆෝන්වල ඕපන් වන්නේ නැත. ඇතැම් ස්මාර්ට් ෆෝන්වල පහත සඳහන් පණිවුඩය එයි. ඔබ දැනටමත් ලියාපදිංචි වී හමාරය. පණිවුඩය එසේ කීවත් QR කේතය එන්නේ නැත. හරියටම ක්‍රියාත්මක කර ගැනීමට පුළුවන් නම් QR කේතය යනු අති නවීන සාර්ථක ක්‍රමවේදයකි. හැබැයි මෙය කොතරම් සාර්ථක ලෙස ක්‍රියාත්මක කළත් ෂෙඩ් එකේ තෙල් නැත්නම් තෙල් ගසා ගැනීමට බැරිය. ආණ්ඩුවට දැනට ගොඩදැමීමට තිබෙන ලොකුම ප්‍රශ්නය වන්නේ තෙල් ප්‍රශ්නයයි. සාමාන්‍යයෙන් එක් මාසයක් සඳහා තෙල් නැව් 22 ක් ලංකාවට අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇත. එහෙත් පසුගිය දිනවල ත්‍රීවීලර්කරුවන් සහ ෂෙඩ් අයිතිකරුවන් විසින් බ්ලැක්මාර්කට් තෙල් විකිණීම නිසා එම තෙල් නැව් 22 ක මදි විය. වෙනදා රුපියල් 1000 කට තෙල් ගහන එකා දැන් රුපියල් 4000 ක තෙල් ගසා ගත යුතුය. එයට හේතුව පසුගිය කාලයේදී තෙල් මිල හතර වතාවක් ඉහළ නැඟීමය. පාන් රාත්තලකුත් රුපියල් 200 ඉක්මවා ඇති මේ අවස්ථාවේ හතර ගුණයක් මිල වැඩි වූ තෙල් ගහගන්නවාට වඩා ඔලුවට පොල්ලකින් ගහගෙන දිවිතොර කර ගැනීමට කැමති මිනිස්සු මේ රටේ සිටිති. එහෙත් මියයෑමේ කැමැත්ත කොපමණ තිබුණත් ඒ සඳහා කර්මානුරූප ආත්මශක්තිය අවශ්‍යය. එම ආත්ම ශක්තිය නැති විට සිදුවන්නේ දිගින් දිගටම තෙල් පෝලිම්වල චාටර් වී තෙල් පොම්පය අසලටම එන විට තෙල් ඉවරවීම නිසා ආණ්ඩුවට හෙණ ඉල්ලමින් ගෙදර යෑමටය.

advertistmentadvertistment
advertistmentadvertistment