පොලිස්පති දුන් මාරුවට එරෙහිව එස්. පී. ගෙන් අභියාචනයක්

188

පොලිස්පතිවරයා විසින් තමාට පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට ස්ථාන මාරුවක් ලබාදෙමින් නිකුත් කළ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානී ලෙස රාජකාරි කළ පොලිස් අධිකාරි එන්. වී. ලෝරන්ස් මහතා අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කළේය.

පොලිස්පතිවරයා වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් පේමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් නාමල් කරුණාරත්න හා උදාර මුහන්දිරම්ගේ යන නීතිඥවරුන් මගින් එම පෙත්සම ගොනු කර තිබිණි.

නයිජිරියානු ජාතිකයන් විසින් උණ්ඩියල් ක්‍රමයට සිදු කළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තමාගේ මෙහෙයවීම යටතේ විමර්ශන සිදු කළ බවත් එකී විමර්ශන අවසන්ව නො තිබියදීත් එක් සැකකරුවකුගේ ගිණුමක තිබූ රුපියල් ලක්ෂ 75කට අධික මුදලක් මුදාහැරීමක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බවත් පෙත්සම්කරු අභියාචනාධිකරණයට කියා තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයාගේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් දැනුම්දීම යන මාතෘකාව යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් මහතා වෙත ලැබුණ නිර්නාමික පෙත්සමක් පොලිස්පතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව තම විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කළ බව සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයට දන්වා තිබූ පෙත්සම්කරු තමා සියලු කටයුතු නීත්‍යානුකූලව සිදු කර ඇති බවත් එසේ තිබියදීත් එලෙස ස්ථාන මාරුවක් ලබාදීම යුක්ති සහගත නොවන බවත් කියා තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වර්තමාන වැඩබලන පොලිස්පති රොහාන් පේමරත්න මහතා සම්බන්ධයෙන් තම ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ පෙරකී උණ්ඩියල් ක්‍රමයට මූල්‍ය වංචා සිදුකිරීමට අදාළ විමර්ශන අවසන් වී නොතිබියදීත් එම සිද්ධින්වලට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබියදීත් එකී මුදල් නිදහස් කිරීම සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු මිස අන් දෙයක් නොවනා බවත් පෙත්සම්කාරු අධිකරණයට කියා තිබිණි. එබැවින් තම ඒකකය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා හා තොරතුරු වාර්තා අධිකරණයට කැඳවා විභාගයක් පවත්වන ලෙසත් එකී විභාගය අවසන් වනතුරු පොලිස්පතිවරයා විසින් අසාධාරණ හා යුක්තිය සහගත නොවන ආකාරයෙන් ලබාදී ඇති ස්ථාන මාරුව ක්‍රියාත්මක කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරනා ලෙසත් එමගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment