පොලිස්පති – පොලිස් බුද්ධි ප්‍රධානී – එස් ටී එෆ් අණදෙන  නිලධාරීගෙන් ප්‍රකාශ ගනී

280

ගාලුමුවදොර අරගල භූමියේ එල්ලවූ ප්‍රහාරය වළක්වා  නොගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන්, පොලිස් බුද්ධි අංශ ප්‍රධානියාගෙන් සහ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියාගෙන් පෙරේදා (21දා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පෙරේදා පස්වරු 2.00ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටි අතර රාත්‍රී 7.30 පමණ වනතුරු ප්‍රකාශ ලබාගෙන තිබුණි.

පොලිස් බුද්ධි අංශ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති සී. ඒ. ධනපාල මහතා හා පොලිස් විශේෂ කාර්ය බලකයේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර

මහත්වරුන්ගෙන්ද පැය 5කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කර ඇත. මේ අතර කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මෙන්ම කොළඹ මධ්‍යම දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන්ද ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

ගාලුමුවදොර අරගල භූමියට පහර එල්ල කිරීමට පැමිණි පිරිසට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට කටයුතු නොකරන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නියෝග කළ බවට පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට දේශබන්දු තෙන්නකෝන් හිටපු ඇමැතිවරුන් වන නාමල් රාජපක්‍ෂ, පවිත්‍රා වන්නිආරච්චි, සී. බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන, ඉන්දික අනුරුද්ධ ඇතුළු විශාල පිරිසකගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment