පොලිස් ආරක්‍ෂාව ඉල්ලා චමුදිතගෙන් දෙවැනි වරටත් උසාවියට මෝසමක්

212

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාට පොලිස් ආරක්‍ෂාවක් ලබාදෙන ලෙස කැස්බෑව අධිකරණය නියෝග කර තිබියදීත් එය කි‍්‍රයාත්මක කිරීමට මේ වන තුරුත් කටයුතු නොකිරීම නිසා දෙවැනි වරටත් මෝසමක් ඉදිරිපත් කර එම ආරක්‍ෂාව ලබාදෙන ලෙස නැවත ඉල්ලීමක් කිරීමට නීතිඥවරුන් තීරණය කර ඇත.

ඒ අනුව එම මෝසම ඉදිරි දින දෙක ඇතුළත නැවත කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බැවින් ආරක්‍ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි චමුදිත සමරවික‍්‍රම මහතා නීතිඥයන් මාර්ගයෙන් කැස්බෑව අධිකරණයෙන් පසුගියදා ඉල්ලා සිටියේය.

ඒ අනුව සමරවික‍්‍රම මහතාට ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස කැස්බෑව මහෙස්ත‍්‍රාත් රුවන්දිකා වීරසිංහ මහත්මිය වින්දිතයන් ආරක්‍ෂා කිරීම සඳහා පත්කළ විශේෂ පොලිස් ඒකකය වෙත නියෝගයක් කර තිබිණි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාගේ නිවසට පසුගියදා නාඳුනන සංවිධානාත්මක පිරිසක් විසින් ගල් සහ අසූචි ප‍්‍රහාරයක් එල්ල කරන ලදි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තුරුත් සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment