පොලිස් තර්ජන එල්ල වූ මතුගම මන්ත‍්‍රී කසුන්ට වහාම ආරක්‍ෂාව දෙන්න

213

මතුගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු ඇමැති වීරසේකරගෙන් ලිඛිතව ඉල්ලති

මතුගම ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරයකු වන කසුන් නිරෝෂණ මුණසිංහ මහතාට කළුතර උසස් පොලිස් නිලධාරියකු විසින් තර්ජනය කර ඇති නිසා එම මන්ත‍්‍රීවරයාට වහාම ආරක්‍ෂාව සලසා දෙන ලෙස ප‍්‍රා. සභා මන්ත‍්‍රීවරුන්ගේ අත්සනින් යුතුව නීතිය හා සාමය පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.

කසුන් නිරෝෂණ මන්ත‍්‍රීවරයා විසින් පසුගියදා පැවැති ප‍්‍රාදේශීය සභා මාසික මහ සභා රැුස්වීමේදී තමන් කිසියම් කාරණයක් සඳහා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට ගිය අවස්ථාවේදී තමන් මත්කුඩු අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවත්, ඉදිරි දිනකදී ඒ සඳහා නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත්, එසේ නොවුනහොත් මත්කුඩු දමා හෝ තමන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පවසා එම උසස් පොලිස් නිලධාරියා බැණ තර්ජනය කළ බවත් එම නිසා තමාට ආරක්‍ෂාව සලසා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව ප‍්‍රා. සභා සභාපතිවරයා ඇතුළු මන්ත‍්‍රීවරුන් මෙලෙස ඇමැතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීම් කර ඇත.

ඒ අනුව මේ පිළිබඳව අපක්‍ෂපාතී විමර්ශනයක් සිදුකර මන්ත‍්‍රීවරයාගේ ජීවිත ආරක්‍ෂාව සලසා දෙන ලෙසත්, නීතිය හා සාමය පිළිබඳ ඇමති සරත් වීරසේකර මහතාගෙන් එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ කසුන් නිරෝෂන මහතා, මගේ දෙමව්පියන්, සහෝදරයන් හෝ මමවත් කිසිම දිනක මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබ නැහැ. මා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු නම් ජනතාව මට ඡුන්දය දීලා මන්ත‍්‍රීවරයකු කරන්නේ නැහැ. මා සමඟ දේශපාලන තරහක් ද, පෞද්ගලික තරහක් ද කියා දන්නේ නැහැ. එම නිසා මේ පිළිබඳව පරීක්‍ෂණයක් සිදුකර තමාට ආරක්‍ෂාව මෙන්ම සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා තමයි ආරක්‍ෂක ලේකම්වරයාටත්, පොලිස්පතිවරයාටත් පැමිණිලි කරන්නේ.
අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment