‘පොලිස් පුතාගේ’ කැබි සූත්තරේ පොලිසියටම මාට්ටු

770

ඕනෑම කාන්තා යතුරුපැදියක කැබිය විවෘත කළ හැකි ලෙස ව්‍යාජ යතුරු කිහිපයක් සකස්කර අවස්ථා හයකදී අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක නවතා තිබූ කාන්තා යතුරුපැදි තුළ තිබූ රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදල් සහ ජංගම දුරකථන සොරකම් කළ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ පුතෙකු පෙරේදා (8 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර වන්නියන්කුලම, ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

අනුරාධපුර නගර සීමාව තුළ පිහිටා ඇති උසාවිය, බන්ධනාගාරය, පෙර පාසල්, ස්වභා උයන, ඇවිදින මංතීරු ආසන්නයේ නවතා යන කාන්තා යතුරුපැදිවල කැබිය තුළ දමා යන මුදල් හා ජංගම දුරකථන සොරකම් කිරීම අවස්ථා කිහිපයකදීම සැකකරු විසින් සිදු කර ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් කාන්තා යතුරුපැදි හයක තිබූ තිබූ රුපියල් 92,000ක් වටිනා ජංගම දුරකථන දෙකක්, රුපියල් 1,26,000ක්, රුපියල් 1,05,000ක්, රුපියල් 35,000ක්, රුපියල් 22,000ක්, රුපියල් 48,000ක් වටිනා ජංගම දුරකථන දෙකක්, අවස්ථා හයකදී සොරකම් කර ඇති බව අනාවරණය වූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත පුෂ්පකුමාර සහ සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර වැඩ බලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනක ප්‍රසන්න මහතාගේ මෙහෙයවීමෙන් අනුරාධපුර නොවිසඳුණු අපරාධ ඒකකයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක ගයාන් රාජකරුණා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment