පොලිස් යථාර්ථය සහ සමාජ යථාර්ථය

829

මාතර තිහගොඩ පොලිසියේ ක්‍රයිම් ඕ.අයි.සී තුමා ඳාවන ගමගේ විසින් ඩෝප් මරගාතය ඇතුව හෝ ඩෝප් මරගාතය නැතුව දාහතර හැවිරිදි පිරිමි ළමයකුගේ හිසට point blank range එකක සිට වෙඩි තැබීමේ සිද්ධිය නිසා මේ රටේ පුරවැසියන් වැඩිදෙනා සිටින්නේ පොලිසිය පලහාගෙන (Barbecue) අනුභව කිරීමට තරම් කෝපයකිනි. Point blank range යනුවෙන් හැඳින්වෙන්නේ තුවක්කුවක් හිසටම තබා වෙඩි තැබීමටය. එවිට පිස්තෝල කට වෙඩි කන්නාට පෙනෙන්නේ නැත. වෙඩි කෑ ළමයා පසුදින පන්සලේ පැවැත්වෙන පෙරහැර සඳහා කාවඩි සෑදීම පිණිස මොනර පිල් අහුලා ගැනීමට ගිය අවස්ථාවේදී මේ අවාසනාවන්ත සිදුවීමට ලක්විය. ක්‍රයිම් ඕ.අයි.සී ගමගේ ගේ වයස අවුරුදු 55 කි. මෙපමණ වයසින් ඇට්ටකුණා වෙලාත් ඔහුට එස්. අයි. තානාන්තරයෙන් උඩට යෑමට හැකිව නැත. සමහරවිට මේ ළමයාට කළ අපරාධය හරියාකාරව ගැස්සී නීතිය ඉදිරිපිට වැරදිකරු වීමට සිදුවුණොත් ගමගේට රස්සාවත් නැත; පෙන්ෂන් පඩියත් නැත. හැබැයි ඔහුට ඉඳුම් හිටුම් සහ කෑම බීම පහසුකම් මාතර හිරගෙදරින් හෝ බොරැල්ලේ මැගසින් බන්ධනාගාරයෙන් ලැබෙනවා ඇත.

පොලිසිය යනු නරක තැනක් නොවේ. එහි සිටින සමහර නරක නිලධාරීන් නිසා එය හොඳ තැනකුත් නොවේ. මෙයට අවුරුදු සීයකට පෙර මේ රටේ සාධු ජනයා දුර බැහැර වන්දනා ගමන්වල යන්නේ සිය දේපළ දූ දරුවන්ට ලියා තබා, ආපසු එන බලාපොරොත්තුවකින් නොවේ. එයට හේතුව එකල වන්දනා ගමන් වනාන්තර මැද්දෙන්, වන සතුන්ගේ ඇඟේ හැප්පෙමින් මාස ගමන් පා ගමනින් යෑමට සිදුවීමය. පනස් දෙනෙක් වන්දනා ගමන ගිය විට අවුරුදු දෙක තුනකට පසු ආපසු ගෙවල් දොරවල් බලා එන්නේ ඉන් අඩකි. සෙසු අය වන සතුන්ගේ පහරදීම් වලින් හෝ මැලේරියාවෙන් හෝ මගදීම මැරෙති. මේ රටේ ජනයා ඇතැම් පොලිසිවලට යන්නේද ආපසු එන බලාපොරොත්තුවෙන් නොවේ. පොලිසියේදී ඔවුනට ගුටි කා මිය යෑමට සිදුවන අතර මොකක් හෝ කියා එම මිනී මැරුම ගොඩදමා ගැනීමට පොලිසියට හැකිවෙයි. මෙයට අවුරුදු දහ තුනකට පමණ පෙර අඟුලාන පොලිසියේදී දරුණු මිනීමැරුම් දෙකක් සිදුවිය. එහිදී මිය ගිය පළමුවැන්නා 22 හැවිරිදි දිනේෂ් තරංග ප්‍රනාන්දුය. දෙවැන්නා විසි හය හැවිරිදි ධනුෂ්ක උදයංග අපොන්සුය. මේ කියන කාලයේදී අඟුලාන පොලිසියේ ඕ.අයි.සී ලෙස වැඩ කළේ ඉතා දරුණු වධකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ජී. වී. නිව්ටන් නමැත්තෙකි. මේ කියන නිව්ටන් යන එන කසිප්පු පොළක් අඟුලානේ විය. එහි අයිතිකාරිය මංගල දැන්වීම්වල කියන්නාක් මෙන් මනා පෙනුමකින් යුත් මනා අඟ පසඟින් යුත් තරුණ කාන්තාවකි. දිනක් දිනේෂ් තරංග ධනුෂ්ක උදයංග නමැති දෙදෙනා පෙරකී කසිප්පු ස්කාගාරයේ සභාපතිතුමියට විහිළු කළ බව නිව්ටන්ට දැනගන්නට ලැබිණ. එදින රාත්‍රියේදී එම තරුණයන් දෙදෙනා කුදලාගෙන පැමිණි නිව්ටන් එම දෙදෙනා නිරුවත් කර පන්දමකින් පුළුස්සමින් බෙල්ට් වලින් සහ පොලුවලින් පහරදීමට පටන් ගත්තේය. එම නීච ප්‍රහාරයට තවත් රාළහාමිලා පස්දෙනෙක් ද එකතු වූහ. නිව්ටන් සහ එම රාළහාමිලා සියලුදෙනා ඒ අවස්ථාවේදී කසිප්පු පානය කර සිටි බවට සාක්ෂි තිබේ. තරුණයන් දෙදෙනාගේ ඇට කටු කුඩු වූ පසු ඔවුන් දෙදෙනා අඟුලානේ මුහුදු වෙරළට ගෙනගිය නිව්ටන් ඇතුළු වධක රැළ එම දෙදෙනාට වෙඩි තබා මැරූහ. පසුදින තරුණයන් දෙදෙනාගේ සිරුරු අඟුලාන පාලමෙන් කිලෝමීටරයක් පමණ ඈත වෙරළේ තිබෙනු දක්නා ලදී. එම දෙදෙනාගේ පපුවට පාද වලට සහ මුහුණට වෙඩි තබා තිබූ බව මරණ පරීක්ෂණයේදී හෙළිවිය. නිව්ටන් ඇතුළු මිනී මරුවන් රැළ කියා සිටියේ මේ තරුණයන් දෙදෙනා කුඩුකාරයන් බවය. ඒ අතර තරුණයන් දෙදෙනාගේ ඝාතනය කුඩු ජාවාරමට හා පාතාලයට බැර කර යට ගැසීමට එවකට තිබූ ආණ්ඩුවද තැත් කළේය. එහෙත් මේ අපරාධයට එරෙහිව අඟුලානේ වැසියන් දහස් ගණනින් පාරට බැසීම නිසා සාපරාධී නිව්ටන් සහ සාපරාධී සගයන් පිරිස අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන් අධිකරණයට දමා මරණ දඬුවම් තීන්දුවක් ලබා ගත්තේය. පසුකාලයේදී නිව්ටන්ගේ ජීවිතය ඉතාම කාලකණ්ණි විය. දියවැඩියාව වැළඳීම නිසා හිරගෙදරදී ඔහුගේ කකුල කපා දමන ලදී. ඔහු අදත් හිරේ තපියි. ශ්‍රී ලංකාව තුළ එල්ලුම් ගහ ක්‍රියාත්මක නොවන බැවින් ස්වභාවිකව මැරෙන තුරුම හිර ගෙදරදී සිය කරුමය ගෙවීමට ඔහුට සිදුවනවා ඇත.

මාතර තිහගොඩ පොලිසිය ප්‍රශ්නගත තැනකි. මෙයට පෙරද මේ පොලිසිය සහ ගම අතර ප්‍රශ්න තිබිණ. අඟුලාන පොලිසියද මීට දෙවනි නැත. මීට අවුරුදු දෙකකට පෙර අඟුලාන පොලිසියේ රාළහාමිලා විසින් කළ වෙඩි තැබීමකින් තිස් නව හැවිරිදි ධීවරයකු මළේය. මේ නිසා ප්‍රදේශවාසී ජනයා විසින් පොලිසිය වටලන ලද අතර එම විරෝධතාකරුවන් ප්‍රචණ්ඩ වීම නිසා ඔවුන්ගෙන් දාහතර දෙනකු අත්අඩංගුවට ගැනීම සිදුවිය. පොලිසිය යනු අපායක් නොවන බව අපි නැවතත් කියමු. එසේම එය දෙව්ලොවක් ද නොවේ. මනුස්ස ලෝකයක්ද නොවේ. මේ ලෝක දෙක තුනටම මැද තැනක තිබෙන පොලිස් දෙපාර්තමේන්තුව 86000 ක කාඩරයකින් සමන්විත ලංකාවේ විශාලතම සිවිල් ආයතනය වේ. පොලිසිය දිනපතාම රටේ ජන සමාජය සමග උරෙනුර ගැටෙයි. එසේ ජනතාව සමග වැඩියෙන්ම ගැටෙන ආයතනය වන්නේද පොලිස් දෙපාර්තමේන්තුවය. මනුෂ්‍යයා යනු එක මොඩ්ල් එකක සතෙක් නොවේ. මේ ලෝකයේ ජනගහනය බිලියන හතක් නම් එකිනෙකට වෙනස් මොඩ්ල් බිලියන හතක් එම ජන සමූහය තුළ තිබේ. පොලිසිය සෙසු මිනිසුන්ගෙන් වෙනස් වන්නේ ඔවුන් අත ආයුධත් රාජ්‍ය බලයත් තිබෙන නිසාය. නිව්ටන්ලා සිටින්නේ පොලිසියේ පමණක් නොවේ. ආණ්ඩුවේ වෙනත් කන්තෝරුවලද නිව්ටන්ලා සිටිති. ආයුධ සහ රාජ්‍ය බලය නැති නිසා අඟුලානේ නිව්ටන් මෙන් වැඩ කිරීමට ඔවුන්ට නොහැක. තිහගොඩ පොලිසියේ ගමගේ මෙන් පිස්සු කෙළීමටද ඔවුනට නොහැක. මේ සමාජ සත්තා යථාර්ථය තේරුම් ගැනීම තුළින් ගැටුම් අවම කර ගැනීමට තුවක්කුව අතේ ඇති අයටද තුවක්කු අතේ නැති අයටද පුළුවන.

advertistmentadvertistment
advertistmentadvertistment