පොලිස් ලොක්කාගේ අවනඩුවත් අරන් සැරයන් මානව හිමිකම් ගිහින්

658

හොර අරක්කු ඇල්ලුවයි ස්ථානාධිපතිවරයාගේ උදහසට ලක්ව වහාම ක්‍රියාත්මක වන පරිදි තංගල්ල පොලිස් කොට්ඨාසයේ සිට මොනරාගල පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරු කර යැවූ පොලිස් සැරයන්වරයා පසුගිය 31 වන දින මානව හිමිකම් කොමිසමට ගොස් සිය අවනඩුව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනුකර තිබේ.

මෙලෙස මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනුකර ඇත්තේ තංගල්ල පොලිස් කොට්ඨාසයට අනුයුක්තව බෙලිඅත්ත පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සැරයන් (52690) මහමුදියන්සේලාගේ දයාසිරි මුණසිංහ නමැති නිලධාරියාය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් සිය දේශපාලන හයිය භාවිතා කරමින් මෙම ස්ථාන මාරුව ලබාදී ඇති බවයි. මෙම ස්ථාන මාරුවට හේතුව වී ඇත්තේ ප්‍රදේශයේ හොර අරක්කු වැටලීමක් සිදුකිරීමය. එම වැටලීමෙන් කෝපයට පත් ස්ථානාධිපතිවරයා පොලිස් සැරයන්වරයාට බැණ වදින හඬපටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබේ. එම හඬපටයට අනුව ස්ථානාධිපතිවරයා පවසන්නේ හොර අරක්කු අල්ලන් එපා කියා පොලිස්පතිතුමා දන්වා ඇති බවයි. තමන් සහකාර පොලිස් අධිකාරී වී මිස මෙතනින් නොයන බවත් ,නාමල් රාජපක්ෂ සර්ටත්, අගමැතිතුමාටත් හැර වෙන කාටවත් තමන් මෙතනින් යැවිය නොහැකි බවත් පවස එම හඬ පටයේ සඳහන් වෙයි. ඒ නිසා මේක බෙලිඅත්ත බවත් බෙලිඅත්තේ විදියට සිටිය යුතු බවත් හඬපටයේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙමින් තිබියදී හොර අරක්කු ඇල්ලූ වරදට අදාළ පොලිස් සැරයන්වරයා තංගල්ල පොලිස් කොට්ඨාසයේ සිට මොණරාගල පොලිස් කොට්ඨාසයට මාරුකර යවා තිබේ. එමෙන්ම ඇඹිළිපිටිය පොලිසියේ සේවය කරමින් සිටියදී බෙලිඅත්ත පොලිස් ස්ථානයට අනුයුක්ත කර සිටි බෙලිඅත්ත පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාද යළි ඇඹිළිපිටිය පොලිස් ස්ථානයට මාරු කර යැවීමටද කටයුතු කර ඇති බව වාර්තා විය.

පොලිස්පතිවරයාත්, සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම ගෞරවයත් හා ජනතා විශ්වාස හෑල්ලුවට ලක් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ හඬපටය මේ වන විට සමත්වී තිබේ. මෙම හඬපටය පිළිබඳව දකුණූ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නියමයෙන් විමර්ශනයක් සිදුකිරීමට පත් කෙරුණු තංගල්ල සහකාර පොලිස් අධිකාරීවරයාටද ස්ථාන මාරුවක් ලබාදෙන ලෙසට දේශපාලන අධිකාරියේ ඉහළ පාර්ශවයකින් බළපෑමක්ද සිදුව ඇති බවට මේ වන විට අනාවරණය වී තිබේ.

තමන්ට සිදු වු මෙම අවනඩුව පිළිබඳව පොලිස් සැරයන් (52690) මහමුදියන්සේලාගේ දයාසිරි මුණසිංහ නිලධාරීයා විසින් මානව හිමිකම් කොමිසමට සිදුකළ පැමිණිලේ මෙසේද සඳහන් වෙයි.

ලද තොරතුරකට අනුව බෙලිඅත්ත මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසක් පිළිබඳව ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. මෙම වැටලීම සඳහා ගිය යතුරු පැදි දෙකින් එකක නිළ ඇඳුමින් සැරසී ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගජීව මහතාද ගොස් තිබේ.

ඒ අනුවන තමන් හා පොලිස් කොස්තාපල්වරයා අදාළ නිවස වැටලීමට ලක් කර එහි තිබි දඩ මස් උර 15ක් සහ අලෙවි කිරීමට රැගෙනවිත් තිබූ අරක්කු බෝතල් 04ක් අත්අඩංගුවට ගෙන ඒ බව මඟ රැදී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගජීව මහතාට පැමිණෙන ලෙස දන්වා තිබේ. එම අවස්ථාවේදී තමන්ගේ දුරකතනයට බෙලිඅත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා කතා කර වහාම මෙහෙයුම නවතා පැමිණෙන ලෙස නියෝග කර තිබේ. මේ බව වැටලීමට ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂ රංගජීව මහතාටද තමන් දැන්වූ බවත් එහිදී ස්ථානාධිපතිතුමා සමග අනවශ්‍ය ප්‍රශ්න දමාගත යුතුනැති බවත් පවසා මෙහෙයුම නවතා පැමිණෙන ලෙසත් දන්වා තිබේ.

එලෙස මෙහෙයුම අත්හැර යළි පොලිස් ස්ථානයට ගොස් දිවා අහාරය සඳහා තමන් භෝජනාගාරයට යන විට තමන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමට වැටලීම සිදුකර අත්අඩංගුවට ගත් පුද්ගලයා ස්ථානාධිපති තුමාගේ නිල නිවස අසල සිටිනු තමන් දුටු බවත් පොලිස් සැරයන්වරයා දැක තිබේ. එම පුද්ගලයා උර දෙකක් රැගෙන පැමිණ සිටිනු දුටු බවත් එම උර දෙක නිල නිවසේ අරක්කැමියා විසින් රැගෙන ගිය බවත් පොලිස් සැරයන්වරයා දැක තිබේ.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment