පොලිස් විශේෂ කාර්ය බළකායේ දින තුනේ මෙහෙයුමෙන් ගංජා හේන් 11ක් වටලයි

181

මත්තල – දිලීප් එන්. ජයසේකර

පොලිස් විශේෂ කාර්ය බළකායේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ ඩ්‍රෝන යානා මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව සූරියවැව විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් 75 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් විසින් සූරියවැව හා හම්බෙගමුව පොලිස් බල ප‍්‍රදේශවල පිහිටි කැලෑ තුළ දින 03 ක් තිස්සේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ගංජා හේන් 11 ක්, කසිප්පු තිප්පොළක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත් වී තිබේ.
 
 පොලිස්පතිවරයාගේ නියෝග පරිදි සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ අණදෙන නිලධාරී ප‍්‍ර.පො.ප. සංජීව ප‍්‍රනාන්දු මහතාගේ නායකත්වයෙන් යුතුව මෙම විශේෂ මෙහෙයුම ක‍්‍රියාත්මක කෙරුණු අතර මේ සඳහා සූරියවැව, හම්බන්තොට, අම්බලන්තොට, උඩවලව හා කතරගම විශේෂ කාර්ය බළකා කඳවුරුවලට අයත් නිලධාරීන් 75 දෙනකු එක්ව සිටියහ.
 
 දින තුනක් තිස්සේ සිදුකළ මෙහෙයුමේදී සූරියවැව පොලිස් වසමේ තිබී ගංජා හේන් දෙකක් සමග සැකකරුවෙක්, කසිප්පු තිප්පොළක් සමග එක් සැකකරුවෙක් හා හම්බෙගමුව පොලිස් බල ප‍්‍රදේශයේ කැලෑ තුළ තිබී ගංජා හේන් 09 ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් සමත් වී තිබේ. අත්අඩංගුවට පත් ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට වැඩි බව වැටලීම් කළ නිලධාරීන් පැවසීය.
 
 පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විදුරනාථ දිසානායක, ප‍්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ආනන්ද පේමසිරි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බළකායේ තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරීන්ගේ සහාය ඇතිව සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව ප‍්‍රනාන්දු මහතාගේ නායකත්වයෙන් යුතුව නිලධාරීන් 75 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් විසින් වැටලීම් සිදුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment