පොලිස් වෙඩි කාගෙන අණනොතකා ගිය යතුරු පැදිකරු අත්අඩංගුවට

205

තංගල්ල පොලිස් ක්ෂණික විහිදුම් බළකායේ නිලධාරී කණ්ඩායමක් විසින් සූරියවැව හත්පහ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිස් නිලධාරීන් වෙඩි තබා ඇති අතර පළා ගිය සැකකරු ඊයේ (02දා) අළුයම සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව විහාගල පදිංචි 19 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක පොලිස් ක්ෂණික විහිදුම් බළකායේ නිලධාරී කණ්ඩායමක් 01 වන දින රාත්‍රී 11.45ට පමණ සූරියවැව හත්පහ ප්‍රදේශයේ විශේෂ රථවාහන පරීක්ෂාවක නිරතව සිට තිබේ. එම අවස්ථාවේදී පැමිණි යතුරු පැදියකට නවතන ලෙසට පොලිස් නිලධාරීන් සංඥා කර ඇතත් යතුරු පැදිය නොනවත්වා ධාවනය කර තිබේ. එම අවස්ථාවේදී රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් එම යතුරු පැදිය පසු පස හඹාගොස් සූරියවැව වැලිවැව ප්‍රදේශයේදී යතුරුපැදිය නවතන ලෙසට යළි අණ කර ඇතත් යතුරුපැදිකරු නොනවත්වා ධාවනය කර තිබේ. එහිදි පොලිස් නිලධාරීන් විසින් යතුරු පැදියට වෙඩි ප්‍රහාර 03ක් එල්ල කර තිබේ. එම වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකුගේ පාදයට වෙඩි වැදුණු නමුත් පැදිකරුවන් වෙඩි වැදීමෙන් අනතුරුවද පොලිස් නිලධාරීන් මග හැර පළාගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය විසින් සිදුකළ විමර්ශනයකදී අනාවරණය වූයේ වෙඩි වැදීමෙන් පසු පළාගිය පුද්ගලයා ඊයේ (02) අළුයම 5.40ට පමණ යකඩ කූරක් ඇණුනු බව පවසා සූරියවැව රෝහලේ හිදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත්ව ප්‍රථිකාර ලබාගැනීමෙන් පසු සිය කැමැත්තෙන්ම වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට යන බව පවසා ටිකට් කපාගෙන ගොස් ඇති බවයි. සැකකරුගේ දකුණු පාදයේ යටිපතුල ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ලව තිබේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර විර්ශන සිදුකරමින් සිටින අතරතුර සැකකරු පෙරවරුවේ සිය මව සමග සූරියවැව පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර එහිදී පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරු අණනොතකා ධාවනය කිරීම, ආදායම් බලපත්‍ර නොමැතිව ධාවනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

යතුරු පැදියේ සැකකරු සමග සූරියවැව පන්සිය පනහ ප්‍රදේශයේ පදිංචි සුද්දා යන අන්වර්ථ නමින් හදුන්වන පුද්ගලයාද වෙඩිතැබීම සිදුවන අවස්තාවේ යතුරුපැදියේ පටුපස ගමන්කර ඇති අතර ඔහු සම්බන්දයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්දයෙන් තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි සූරියවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment