පොලිස් සාක්ෂි පරස්පරයි – කුඩු නඩුවෙන් අමිතා නිදහස්

65

හෙරොයින් ග්‍රෑම් 1.58ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවක විත්තිකාරිය වූ අමිතානි මංගලිකා හෙවත් කුඩු අමිතා නමැත්තිය විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේය.

පොලිස් නිලධාරීන් ලබාදුන් සාක්ෂිවල පැවති පරස්පරතා නිසා මෙම නියෝගය කෙරිණි. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2017.07.03 වැනිදා සේදවත්ත කළුපාලම අසලදී එම වැටලීම සිදුකළ බව පැමිණිල්ලෙන් කියැවිණි. උපාය දූතයා ලෙස යොදාගත් පොලිස් කොස්තාපල්වරයා රුපියල් 500ක නෝට්ටුවක් දී ‘කෑල්ලක්’ ඉල්ලූ පසු විත්තිකාරිය හැඳ සිටි ගවුමේ සාක්කුවකට අතදමා ‘කෑල්ල’ දෙනවිට සැඟව සිටි පොලිස් කොස්තාපල්වරියක විත්තිකාරිය අත්අඩංගුවට ගත් බවත් පැමිණිල්ලෙන් වැඩිදුරටත් කියැවිණි.

එම හෙරොයින් පාර්සලය පොලිස් පරීක්ෂකවරයකු දිගහැර ඔහුගේ ඇඟිල්ලෙන් හෙරොයින් ස්වල්පයක් ගෙන දිව ගා බැලූ බව වැටලීමට සහභාගි වූ පොලිස් නිලධාරීන් දෙදෙනකු සාක්ෂි ලබාදී තිබූ නමුත් එම පොලිස් පරීක්ෂකවරයා පොලිස් දෙපාර්තමේන්තුවටත් නොදන්වා රටහැර ගොස් තිබීම මෙන්ම වැටලීම සිදුකළ වේලාව, වැටලීම් සටහන්වල යොදා නොතිබීම හා සෙසු නිලධාරීන් ලබාදුන් සාක්ෂිවල පැවැති බලවත් පරස්පරතා සලකා බැලූ විනිසුරුවරයා විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් ජයකොඩි මහතා කළ ඉල්ලීම් පිළිගනිමින් එම නියෝගය කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment