පොලිස් සුනඛයා කඳවුරට ඒම: – විමර්ශනවලට හමුදාවේ පූර්ණ සහාය

183

පුද්ගල ඝාතනයක පොලිස් පරීක්‍ෂණ අතරතුර පොලිස් නිල සුනඛයකු කරන්දෙණිය යුද හමුදා බුද්ධි බළකා කඳවුරට ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධව පොලිසිය සිදු කරන විමර්ශනයට යුද හමුදාවේ පූර්ණ සහාය ලබාදෙන බව හමුදා ප්‍රකාශක බි්‍රගේඩියර් රවි හේරත් සඳහන් කළේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ඒ සම්බන්ධයෙන් අදාළ සියලු නිලධාරීන්ට ඍජුවම උපදෙස් ලබාදී තිබෙන අතර දැනටමත් කරන්දෙණිය කඳවුරේ තිබූ ටී 56 ගිනි අවි 36ක් අධිකරණ නියෝග අනුව රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට භාර දී ඇතැයි ද බි්‍රගේඩියර්වරයා පැවසීය.

අහුන්ගල්ල ප්‍රදේශයේදී වෙඩි තබා සිදුකළ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සිදු කෙරුණු පොලිස් විමර්ශන අතරතුර කරන්දෙණිය යුද හමුදා කඳවුරට ආසන්නව පිහිටි සිවිල් ජනතාවට අයත් කුරුඳු ඉඩමක තිබී අතහැර දමා ගිය යතුරුපැදියක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබිණි.

එම යතුරුපැදිය තිබූ ස්ථානයේ සිට ඉව අල්ලමින් ගිය පොලිස් නිල සුනඛයකු කරන්දෙණිය කඳවුරේ ආරක්‍ෂිත වැටෙහි වනසතුන්ට රිංගා යෑමට තබා තිබූ සිදුරකින් කඳවුර තුළට ඇතුළු වී සෙසු නිල බට නිවාසයක් අසල නතර වී ඇත.

කරන්දෙණිය කඳවුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් අරඹා ඇත්තේ ඒ අනුවය.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment