පොලිසියයි පුරාවයි දෙකම නිදියද්දී… පුරාණ වෙහෙරගල රාජමහා විහාරය නිධන් හොරුන්ගේ රජදහනක් වෙලා

211

නිධන් හාරලා වැඩ තහනම් වී නැවත ආපු පොලිස් ලොක්කෙකුත් හවුල් – ජනතාවගෙන් චෝදනා

ගල්ගමුව පොරොත්තු කඩවල වසම තුළ පිහිටා ඇති පුරාණ වෙහෙරගල රාජමහා විහාරයේ වළගම්බා රජ සමයේ කරවන ලද්දකි. භික්ෂුන් වහන්සේ නමක් නොමැතිව වසර 25 ක පමණ කලක් මෙම විහාරය හුදකලාව පැවැතීම නිසා මේ වන විට විහාරස්ථානය කැළැවෙන් වැසී ගොස් හුදකලාවී තිබේ. දකුණු ආසියාවේ පැරණිතම බෝධිඝරය වන නිල්ලග්ගම බෝධිගරයට නැකෑම් කියන මෙම පුරාණ විහාරය මේ වන විට නිදන් හොරුන්ගේ තෝතැන්නක් බවට පත් වී හමාරය. අරුමය නම් දිවා රෑ දෙකහිම විහාරස්ථානයේ පුරා වස්තූන් නිදන් සොරුන් සිත් සේ විනාශ කළද වගකිව යුතු සියලු පාර්ශවයන් නොදැක්කා සේ ඇස්කන් පියා සිටීමය.

මෙම විහාරස්ථානයේ ඇති වෙහෙර වහන්සේ ගල්ගමුව ප්‍රදේශයේ ඇති විශාලම වෙහෙර වහන්සේ ලෙස සැලකෙන අතර මේ වන විට චෛත්‍යයේ ගර්භය දක්වාම සොරුන් හාරා විනාශයට පත් කර ඇත. මෙයට අමතරව විහාරස්ථානයේ ඇති තවත් ස්ථාන බොහොමයක් කැණීම්, සහ ගල් බෝර ගසා විනාශ කර දමා ඇත. වටිනා පුරා වස්තු ලබා ගෙන තිබූ ස්ථාන කිහිපයක්ද එහි ගිය ‘දිවයින’ කැමරා කාචයට හමුවිය.

පොලිසියයි පුරාවයි දෙකම නිදියද්දී… පුරාණ වෙහෙරගල රාජමහා විහාරය නිධන් හොරුන්ගේ රජදහනක් වෙලා

මෙම පුරා වස්තු සංහාරය පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් මීගලෑව, ගල්ගමුව, ඇහැටුවැව පොලිස් ස්ථාන, පුරා විද්‍යා, දෙපාර්තමේන්තුව වනජීවි සහ වන සංරක්ෂණ යන ආයතන කොතරම් දැනුවත් කළද එකදු ආයතනයක් හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් තම අප්‍රසාදය පළකර සිටියි. බලධාරීන් දැනුවත් කිරීමෙන් පලක් නොවු තැන මහා සංඝරත්නය ප්‍රමුඛ කරගෙන ප්‍රදේශයේ වැසියන් පසුගියදා මාධ්‍ය සාකච්ජාවක් ද පැවැත්වීය.

එහිදී ප්‍රවීණ ලේඛකයකු හා පුරා විද්‍යා විමර්ශකයකු වන මානෑවේ විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ :

වගකිවයුතු පාර්ශව වල සොයා බැලීමක් නැති නිසා වසර 25 කට වැඩි කාලයක් මේ උරුමය කැලයෙන් වැහිල විනාශයට යමින් පවතින්නේ. දැන් කොරේ පිටට මරේ කියල මේ වෙද්දි නිදන් හොරු ටිකක් මෙතෙන්ට පැනල මේ ස්ථානය විනාශ කරල දාන්න උත්සාහ කරනවා. මෙම විහාරස්ථානයේ වටිනා සෙල්ලිපි රැසක් තියෙනවා. මේ වෙද්දී ගල් බෝර ගහල ඒවා බොහොමයක් විනාශ කරලා ඉවරයි. වෙහෙර වහන්සේ ගර්භය දක්වාම හාරලා විනාශ කරලා ඉවරයි. මේ තරම් වටිනාකමක් තියෙන පෞරාණික ස්ථානයක් විනාශ වෙනව දකිද්දී පුදුම වේදනාවක් අපිට දැනෙන්නේ.

‘සුරකිමු ගල්ගමු මව’ සංවිධානයේ ප්‍රධාන සංවිධායක සාමදාන විනිශ්චකාර නවරත්න වීරසිංහ මහතා :

අපි සංවිධානය වෙලා අපේ වටිනාකම් රැකගන්න උත්සාහ කරද්දි, අපේම තවත් පිරිසත් බලපුළුවන්කාරයෝ ටිකක් එක්ක එකතු වෙලා මේවා විනාශ කරලා දාන්න හදනවා. මේ ගම්වල තාමත් ඉන්නේ රටට ජාතියට ආදරේ මිනිස්සු. ඒත් ඒ මිනිස්සුන්ගේ හඬ එලියට එන්න නොදි බය කරන් ඉන්නේ. අද මේ මාධ්‍ය සාකච්ජාවට ස්වාමීන් වහන්සේලා දහනමක් වඩින්න හිටියා. ගිහියෝ 50 කට වැඩිය එන්න පොරොන්දු වෙලා හිටියේ. හැබැයි බාගෙට බාගයක් අඩුයි. අද උදේම පිරිසක් ගිහින් තර්ජනය කරලා ගිහින් තිබ්බොත් බලාගමු කියලා. පාඩුවේ ජීවත්වෙන මිනිස්සුන් අහිංසක මිනිස්සු බයයි. හැබැයි අපි තර්ජනවලට බය නෑ, බොරු චෝදනා දාලා හිරේ දානව කියල සමහරුන්ට. මෙහෙම රාජ්‍ය බලය පාවිච්චි කරල අපරාධකරුවන් රකින්න තරම් හයියක් කොහොන්ද ආවේ. පුරා විද්‍යාව මර නින්දක ඉන්නේ. පොලිසි ගැනනම් කතා කරලා වැඩක්ම නැ. අහිංසක මිනිහෙක් කැලේට ගිහින් දර කෑල්ලක් අරන් ආවොත් නම් නීතිය අකුරට. හැබැයි මේ වගේ ජාතික අපරාධ කරන අය දකිද්දී නැට්ට පස්ස පැත්තේ ගහගෙන අහක බලන් ඉන්නවා. අපිට ආරංචියි කලිනුත් නිදන් හාරලා වැඩ තහනම් වෙලා ජොබ් එක හදාගත්ත පොලිස් ලොක්කෙක් මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්නව කියලා.

කුමා රණසිංහ -ගල්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment