පොලිසියෙන් පැන්න බූරු මූණා දැලේ

247

කටුනායක ගුවන්තොටුපළ පොලිසියේ අත්අඩංගුවෙන් මිදී පළාගිය පාතාල කල්ලි ප්‍රබලයකු වන රවින්ද්‍ර ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ අවිස්සාවේල්ල පොලිසිය මගින් ඊයේ (17 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාතාල ප්‍රබලයා අවිස්සාවේල්ල අධිකරණය වෙත භාරවීම සඳහා පාගමනින් යමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට අවස්සාවේල්ල පොලිසිය කටයුතු කළේය.

මිනී මැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බූරු මූණා නැමැති පාතාල ප්‍රබලයා ඉකුත් පෙබරවාරි (18 වැනිදා) කටුනායක ගුවන්තොටුපළෙන් ඩුබායි බලා යෑමට උත්සාහ කරද්දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව මෙම පාතාල ප්‍රබලයා කටුනායක ගුවන් තොටුපළ පොලිසිය වෙත භාරදී තිබූ අතර එදින රාත්‍රියේ මොහු පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා ගියේය. කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත පැමිණි චීවරධාරීන් තිදෙනකු පොලිස් නිලධාරීන් නොමඟ යවා ඔහුට පලා යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ මිරිහාන අපරාධ කොට්ඨාසයේ බූරු මූණාට පලායෑමට ආධාර කළ චීවර ධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේය.

පසුව බූරු මූණාට නවාතැන් ලබාදුන් අඹුසැමි යුවළක්ද ඔහුට පලා යෑමට උපකාර කළ තවත් පුද්ගලයන් සිව් දෙනකුද පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

බූරු මූණා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශන පවත්වමින් සිටියදී මොහු මෙසේ අවිස්සාවේල්ල අධිකරණය වෙත භාරවීමට යමින් සිටියදී පොලිසියට කොටු විය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මිරිහාන අපරාධ කොට්ඨාසය විමර්ශන පවත්වා ගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment