පොලිසියේ ඇතැමුන්ගේ උසුළු විසුළු මැද මං හිටියේ ලොකු පීඩනයකින්

923

* දිවිපිදූ නිලධාරීන්ට උසස්වීම් හා වන්දි

* පොලිසියේ 4ක් ඝාතනය කළ සැරයන් පාපොච්චාරණය කරයි


‘‘උඹ මෙඩිකල් අරන් තියෙන්නේ පගාව දීලා. රාජකාරි නොකර පිං පඩි ගන්නවා. නිකන් කනවා කියලා පොලිසියේ අය මට නිතරම විහිළු කරනවා. මේ ප‍්‍රශ්න නිසා මං ලොකු මානසික පීඩනයක හිටියේ. හිතට ආව කෝපය පාලනය කර ගන්න බැරිවෙච්ච නිසයි මං ඒ අයට වෙඩි තිබ්බේ’’ යැයි තිරික්කෝවිල් පොලිසියේ නිලධාරීන් සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයා පාපොච්ඡුාරණය කර ඇත.

පොලිස් නිලධාරීන් සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කර තිරික්කෝවිල් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අක්කරෙයිපත්තුව මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ සැකකාර දිනේෂ් රවීන්ද්‍ර කුමාර නමැති සැරයන්වරයා ලබන 06 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත‍්‍රාත් මොහොමඞ් හම්ෂා මහතා පෙරේදා (25 වැනිදා) නියෝග කර ඇත.

මෙම ප‍්‍රහාරයෙන් ඝාතනයට ලක්වූයේ අක්කරේපත්තුව පොලිසියට අනියුක්තව රාජකාරි කරමින් සිටි බිබිල ප‍්‍රදේශයේ පදිංචි කසුන් ප‍්‍රබුද්ධ ගුණසේකර (54) කල්මුණේ පදිංචි 30 හැවිරිදි අලරත්නම් නවිශාන්, ඔලූවිල් පදිංචි කලන්දර් ලෙබ්බේ මොහොමඞ් අබ්දුල් කාදර් සහ සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තුෂාර හේමන්ත පුෂ්පකුමාර යන පොලිස් නිලධාරීන් සිව්දෙනාය.

මෙම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ තිරික්කෝවිල් පොලිස් ස්ථානාධිපති ජගත් බණ්ඩාර දෙනිගම මහතා කල්මුණ රෝහලේත් කන්දසාමි නමැති පොලිස් සැරයන්වරයා තිරික්කෝවිල් රෝහලේත් පි‍්‍රයන්ත ගුණවර්ධන අක්කරේපත්තුව රෝහලෙන් ප‍්‍රතිකාර ලබමින් සිටිති.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පුළුල් විමර්ශනයක් පැවැත්වීම ස`දහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය යොදවා ඇති අතර එම නිලධාරීහු තිරික්කෝවිල් ප‍්‍රදේශය වෙත ගොස් ඊයේ (26දා* සිට සිය විමර්ශන ආරම්භ කළහ.

මේ අතර රාජකාරි කාලසීමාව තුළදී වෙඩි ප‍්‍රහාරයට ලක්වූ නිලධාරීන් වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීමටද පොලිස් මූලස්ථානයේ අවදානය යොමුවී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයා දීර්ඝ කාලයක සිට පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්තව රාජකාරි කර ඇති අතර ප‍්‍රහාරයකට ලක්වීමෙන් ආබාධිත තත්ත්වයට පත්වී ඇත.

පසුව මෙම නිලධාරියා පොලිස් දෙපාර්තමේන්තුවේ සිවිල් රාජකාරි ස`දහා යොදවා ඇති අතර මීට පෙර සමන්තුරේ පොලිසියේද මොහු රාජකාරි කර ඇත.

අවිවාහකයකු වන සැකකාර පොලිස් සැරයන්වරයා කාලයක් තිස්සේ බොහෝ පොලිස් නිලධාරීන්ගේ උසුළු විසුළුවලට ලක්වී ඇති අතර ඒ හේතුව නිසා ඔහු දැඩි මානසික පීඩනයකින් ජීවත් වූ අයකු බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම ස`දහා යොදාගත් ටී 56 ගිනි අවි 2 ක් මැගසින් 19 ක් සහ පතරොම් 562 ක් මෙම සැකකාර පොලිස් නිලධාරියා විසින් ඇතිමලේ පොලිසිය වෙත භාරදී තිබිණි.

ඇතිමලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් නිලධාරියා වැඩිදුර විමර්ශන ස`දහා අම්පාර පොලිසියට භාරදී ඇති අතර ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය (එස්. අයි. යූ.) මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment