පොලිසියේ සිව්දෙනෙක් මරා දැමූ තිරුපති කෝවිල් ප්‍රහාරයේ ඇතුළාන්තය කියවමු…!

1409

මීට වසර ගණනාවකට ඉහතදී අම්පාර අරන්තලාව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කළේ පොලිස් පරීක්ෂක ජයතිලක මහතාය. ඔහු අරන්තලාව ගම්මානයට මහා මෙහෙවරක් සිදු කළේ ය. දුප්පත් ජනයාට උදව් උපකාර වී වෙහෙර විහාරස්ථාන ඉදි කරමින් පානීය ජල අවශ්‍යතා සපුරන්නට වැවක් පවා ඉදි කරන්න විය. මර බියෙන් ජීවත් වූ ගම්වාසීන් කොටින්ගෙන් බේරා ගනිමින් ගස් කොළන් වලින් පිරි පරිසරයක් ගොඩ නගන්නට විය. එනිසා ජනතාව ඔහු හැඳින්වූයේ යෝධයා මහත්තයා නමිනි. එවන් මහා මෙහෙවරක් කළ ජයතිලක මහතා මහඔය විශේෂ කාර්ය බළකායේ කඳවුරු තුළ සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාට වෙඩි තබා ඔහුද වෙඩි තබාගෙන සිය දිවි අහිමි කර ගත්තේ නිවාඩු හුට පටයක් ප‍්‍රතිඵලයක් ලෙසිනි. කෙසේ නමුත් අදටත් අරන්තලාව ගම්වාසීන්ට ජයතිලක මහතා දෙවියෙකි.

ඒ මතකය යළි යළිත් අලූත් කරමින් තවත් සිදුවූ එවැනි ආකාරයේ සිදුවීමක් වාර්තා වූයේ තිරික්කෝවිල් පොලිසිය තුළිනි.

අම්පාර දිස්ත‍්‍රික්කයට අයත් තිරික්කෝවිල් පොලිසියේ 43 දෙනකු පමණ නිලධාරීන් පිරිසක් සේවය කරනු ලැබේ. 24 වන දින වනවිටද 34 දෙනකු පමණ සේවය කළ අතර රාත‍්‍රී වන විට පොලිසිය තුළ සිටියේ නිලධාරීන් දහයකටත් අඩු ප‍්‍රමාණයකි. ඊට පසු දින නත්තල බැවින් ඉතුරු පිරිස් බොහෝ දෙනකු පොලිසිය පිට රාජකාරි සඳහා යොදවා තිබුණේ ප‍්‍රද්ශයේ ආරක්ෂාව වෙනදාට වඩා තර කර තිබූ බැවිනි.

පොලිසිය ගේට්ටුව භාර රාජකාරි කරමින් සිටියේ පො.කො. (44386) කන්දසාමි නිලධාරි වරයාය. රාත‍්‍රී දහයයි තිහ පමණ වෙන විට ඔහු සිටි තැනට පොලිස් සැරයන් (40685) එම්. එම්. ඞී. රවින්ද කුමාර පැමිණ කථා කරමින් සිටින්නට විය. එක්වරම රවින්ද කන්දසාමිගේ ටී. 56 ගිනි අවිය උදුරා ගන්නට විය. සිදුවූ දෙයින් විමතියට පත් වූ කන්ද සාමි සිය ගිනි අවිය රවින්දගෙන් ලබා ගන්නට උත්සාහ කළ ද එය අසාර්ථක වූ අතර රවින්ද පෙරළා කන්දසාමි දෙසට ගිනි අවිය අමෝරා ගන්නට විය. ඒ මොහොතේ කන්දසාමි කෙසේ හෝ රවින්දගෙන් බේරී පලා යද්දී වෙඩි තැබුවත් කන්දසාමිගේ වාසනාවට මෙන් වෙඩි උණ්ඩයට ඔහු ගොදුරු නොවුණි.

ටී 56 ගිනි අවිය සමග පොලිසිය ඉදිරිපිටට ගිය රවින්ද්‍ර එම අවස්ථාවේ සේවය කළ උප සේවා භාර නිලධාරී පො. කො. (8861) නවිනන් සහ කාර්ය භාර නිලධාරි ලෙස කටයුතු කර පො. කො. (44132) කාදර් දෙසට වෙඩි පිට වෙඩි තබන්නට විය.

ඔවුනටද සිදුවන්නේ කුමක්දැයි කියා එකවරම අදහා ගැනීමට නොහැකි විය. තම රිවෝල්වරය ඇදගත් කාදර් පොලිස් සැරයන්වරයාද ඝාතකයා දෙසට වෙඩි කීපයක් එල්ල කරන්නට විය. ඒ සමගම ඔවුන් පොලිසිය තුළ විදුලි බල්බ නිවා දමන්නේ ඝාතකයාගේ ඉලක්කය බේරීම සඳහාය. මොහොතකින් වෙඩි පහරට ලක් වූ නවීනන් සහ කාදර් ලේ විලක් මැද වැටී සිටින්නට විය.

ඉන්පසු වෙඩි ප‍්‍රහාරය නැවතීමත් සමඟම මඳ වේලාවකින් පොලිසිය තුළට ගිය රවින්ද්‍ර ආරක්ෂිත පෙට්ටියේ යතුර ගෙන ගිනි අවියක් සහ පතුරම් 562 දෙකක් සහිත පතුරම් ගැබ් දහ නවයක් ගන්නා ලදී.

පොලිසිය පිටත ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා හය දෙනෙක් සහිත පිරිසක් පොලිස් ජීප් රථයේ නැඟී ඒ වන විටත් පොලිසිය දෙසට එමින් සිටින ලදී. රාජකාරි නිමා වීම නිසා අතරමඟදී තිදෙනෙක් ජීප් රියෙන් බැසගත් අතර පොලිස් ගේට්ටුව ඉදිරිපිට දී පොලිස් පොලිස් පරීක්ෂකවරයෙකුද ජීප් රථයෙන් බැස ගන්නා ලදී. ඒ වෙන විට ජීප් රියෙහි සිටියේ පොලිස් කොස්තාපල් රියැදුරු (17382) තුෂාර සහ පිටුපස අසුනේ වාඩි ව සිටි පො. කො. (78851) ප‍්‍රබුද්ධ යන දෙදෙනා පමණි.

තම සහෝදර නිලධාරියෙකුම යක්ෂාවේෂ වී දුටු දුටු පොලිස් නිලධාරීන්ට වෙඩි තබන බව නොදත් මේ නිලධාරීන් දෙදෙනා පොලිසිය ඉදිරිපිට ජීප් රථය නවතනවාත් සමඟ අඳුර තුළින් ආ වෙඩි උණ්ඩ වර්ෂාවකට ජීප් රථය හිල් පෙනේරයක් බවට පත්වෙද්දී ඔවුන් දෙදෙනා ලේ විලක් මැද එම අසුන් මතම වැටුන ඇද වැටෙන්නට වූහ.

ඝාතකයා අඳුරේ සැඟවෙමින් තවත් ඝාතනයකට කුරුමානම් අල්ලනට වූවේය. අඳුර මැදින් පොලිසිය තුළට යතුරුපැදියකින් තිරික්කෝවිල් පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දෙහිගම මහතා පැමිණෙන්නට විය.

එම දෙසට දිගින් දිගටම වෙඩි තබද්දී දෙහිගම මහතාද වෙඩි පහරට ගොදුරු වන්නට විය.

පොලිසියේ සිව්දෙනෙක් මරා දැමූ තිරුපති කෝවිල් ප්‍රහාරයේ ඇතුළාන්තය කියවමු…!

තවත් මොහොතක් ගතවෙද්දී පොලිසියෙන් පිටතට රාජකාරි කටයුතු සඳහා ගිය පො. සැ. (14787) ගුණවර්ධන සමගින් පො. කො. රි. (89730) කුමාර නම් නිලධාරිවරයා ත‍්‍රිරෝද රියකින් පැමිණෙන්නන්ට වූහ. කිසිත් නොදන්නා ඔවුන් දෙදෙනා පොලිසිය තුළට ගිය විට දුටුවේ සහෝදර පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩි වැදී වැටී සිටින අයුරුය. කිසිවෙකු පොලිස් ස්ථානයට පැන සිය නිලධාරීන්ට වෙඩි තබා තිබෙනු දුටු මොවුන් දෙදෙනා පොලිසිය තුළ ආරක්ෂිත පෙට්ටියේ තිබූ ගිනි අවි ගෙන ගන්නට උත්සාහ කරත් ඉබි යතුරු දමා තිබීම නිසා එම යතුරු සොයාගැනීම් නොහැකි ව එහි ඉබ්බ කඩා ගිනි අවි දෙකක් ගන්නා ලදී.

ගතවුයේ මොහොතකි. ගුණවර්ධන සහ කුමාර යන පොලිස් නිලධාරීන් දෙසටද වෙඩි පිට වෙඩි එල්ල වන්නට වූහ. වෙඩි පහරට ලක්ව ඔවුන්ගේ සිරුරු සිදුරු වෙද්දී ලේ ගලන තුවාල සහිතව වෙඩි තැබූ දෙසට ඔවුන් ද ප‍්‍රහාර එල්ල කරන්නට විය. ඒ වන විට ද අරවින්දගේ වෙඩි පහරට ලක්ව සහෝදර පොලිස් නිලධාරීන් අට දෙනකුට පමණ වෙඩි වැදී ලේ විලක් ජීවිතයත් මරණයත් අතර පොරබදිමින් සිටින්නට වූහ.

පොලිස් නිලධාරීන්ගේ වෙඩි ප‍්‍රහාරයත් සමගම පැය භාගයකට ආසන්න කාලයක් තුළ දකින දකින පොලිස් නිලධාරීන්ට වෙඩි තබමින් සාහසික අපරාධයක් සිදුකර රවින්ද සිය අංක UP- DAE 6675 දරන බොලරෝ වර්ගයේ ජීප් රථයට නැගී වේගයෙන් තිරික්කෝවිල් පොලිසියෙන් පිට වන්නට වූවේය.

අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා පසුදින නත්තල් දිනය වූ බැවින් විශේෂ ආරක්ෂිත වැඩසටහනක් අම්පාරේ ක‍්‍රියාත්මක කරමින් රාත‍්‍රී 11 පමණ වන විට සිය නිලධාරීන් සමග ආරක්ෂක තත්ත්වය පරීක්‍ෂා කරමින් සිටින්නට වූහ. ඒ අවස්ථාවේ රාත‍්‍රියේ එකොළහ පමණ වන විට තිරික්කෝවිල් පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දෙහිගම මහතා විසින් සිය පොලිසියට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කරන බවත් තමන්ට වෙඩි වැදී තුවාල සිදු වූ බවත් ජයන්ත රත්නායක මහතා හට දැනුම් දෙන ලදී. ඉතා දක්ෂ අත්දැකීම් සපිරි නිලධාරියෙක් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතා ඉතාම වේගයෙන් තිරික්කෝවිල් පොලිසිය වෙත පැමිණෙන්නට පිටත් විය. ඒ අතරවාරයේදී තිරික්කෝවිල් යුද හමුදා කඳවුරටත් සාගම විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට මේ බව දැනුම් දෙන්නටද ජයන්ත රත්නායක මහතා කටයුතු කරන්නට විය.

විනාඩි තිහක් වැනි කෙටි කාලයකින් ජයන්ත රත්නායක මහතා පොලිසිය අසලට පැමිණෙන ලදී. ඔහුගේ උපදෙස් මත අක්කරපත්තුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් තිරුක්කෝවිල් පොලිසිය පිටුපසින් ඇතුළු වන්නට වූහ. ඉදිරිපසින් ජයන්ත රත්නායක මහතා ඇතුළු යුද හමුදාව, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු වූහ. ඒ වනවිටත් පොලිසිය තුළ වෙඩි තැබූ ඝාතකයා නොසිටි අතර එක් පුද්ගලයෙකු කළ ප‍්‍රහාරයක් බව පොලිස් අධිකාරිවරයාට අවබෝධ වන්නට වූයේ අතරමගදී ඔහුට ලැබුණු දුරකථන ඇමතුම් අනුව පොලිසියේ රාජකාරි කළ රවින්ද්‍ර නමැති පුද්ගලයා මේ ආකාරයෙන් පොලිසිය තුළ වෙඩි තබා ඔහුගේ ජීප් රියෙන් පොතුවිල දෙසට පලා යන බවය.

ඔහු ඇතිමලේ නවදා හංදිය ගැමුණුපුර ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකු බැවින් පොලිස් අධිකාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතා පොතුවිල සියඹලාණ්ඩුව මාර්ගයේ මාර්ග බාධක වලට මේ පිළිබඳව දැනුම් දෙමින් අත්අඩංගුවට ගන්නා ලෙස පවසා සිටියේය. ඝාතකයා ඇතැම් මාර්ග බාධකවල සිටි නිලධාරීන්ගේ ඇඟට ජීප් රිය කපා දමමින් වෙට්ටු දමමින් අතුරු මාර්ග වලින් යමින් ඒ වන විට ද ඇතිමලේ ප‍්‍රදේශයට ගොස් තිබුණි.

මේ වන විටත් පොලිසිය තුළ වෙඩි වැදී පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හත් දෙනකු ඝාතකයාගේ කුරිරු වෙඩි පහරට ලක්ව ලේ විලක් මැද වැටී ජීවිතයත් මරණයත් සමඟ පොර බෙදමින් සිටින්නට වූහ.

කඩිනමින් තිරිකෝවිල්, අක්කරපත්තු සහ කල්මුණ අශ්රොප් රෝහල් වෙත තුවාලකරුවන් යවන්නට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතා කටයුතු කරන්නට වූවේය.

ඒ වෙනවිටත් නිලධාරීන් දෙදෙනකු මියගොස් තිබුණු අතර රෝහලට ගෙනයන අතරවාරයේදී තවත් නිලධාරියෙකු මරු තුරුලට නික්ම යන ලදී.

පසුදා උදෑසන කාර්යභාර නිලධාරිවරයා ලෙස කටයුතු කළ කාදර් පොලිස් සැරයන්වරයාද අවසන් හුස්ම හෙළුවේ රාජකාරි සහෝදරයකුගේ සැහැසිකම නිසාවෙනි.

මේ අයුරින් මෙම කෲර වෙඩි ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ දිවිය අවසන් වන්නට වූහ.

ඒ බිබිල පිටකුඹුර පදිංචි පො.කො. (78851) ප‍්‍රබුද්ධ ගුණසේකර, පාන්ඩිරුප්පු පිල්ලේයාර් කෝවිල් ප‍්‍රදේශයේ පදිංචි පො. කො. (8961) නවිනන්, සියඹලාණ්ඩුව අම්පාර පාර ප‍්‍රදේශයේ පදිංචි පො. කො. රි. (17382) තුෂාර සහ චෙන්කලඩි පාර ඔලූවිල් 06 පදිංචි එම අවස්ථාවේ කාර්ය භාර නිලධාරි ලෙස කටයුතු කළ පො. සැ. (44132) කාදර් යන නිලධාරීන් සිව් දෙනා රටම කම්පාවට ලක්කරමින් මරු තුරුළට ගොස් ඇත.

තිරික්කෝවිල් පොලිසිය පොලිස් සථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දෙහිගම මහතා ඇතුළු පො. සැ. (14787) ගුණවර්ධන, පො. කො. රි. (89730) කුමාර, පො. කො. (44386) කන්ද සාමි යන නිලධාරීන් කල්මුණේ අෂ්රප්, අක්කරපත්තුව සහ තිරික්කෝවිල් යන රෝහල්වල ප‍්‍රතිකාර ලබා ගනිමින් සිටිති.

මේ අපරාධ සිදුකළ පොලිස් සැරයන් රවින්ද්‍ර ඇතිමලේ සිය නිවසට ගොස් ඉන්පසුව ඇතිමලේ පොලිසියට බාරවී තිබේ. තිරික්කෝවිල් පොලිසියෙන් රැගෙන ගිය ටී 56 ගිනි අවි දෙක සහිත පතුරන් සහ පතුරන් ගැබ් සමග ආරක්ෂිත පෙට්ටියේ යතුරද ඇතිමලේ පොලිසිය වෙත භාරදී තිබේ.

මීට මාස නමයකට පෙරදී මොහු තිරික්කෝවිල් පොලිසියට පැමිණි තිබේ. මෙම සිදුවීමට පෙර දී ඔහු රාජකාරි කටයුතු කළ රථවාහන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයාගෙන් තමන්ට නිවාඩු අවශ්‍ය බව වාචිකව ඉල්ලා තිබේ. ඒ අවස්ථාවේදී රථවාහන අංශයේ පස් දෙනකු පමණක් සේවය කරන බැවින් එක් අයකු නිවාඩු ලබා සිටින බැවින් ඔහු පැමිණි පසු නිවාඩු ලබා දෙන බවට අදාළ නිලධාරියා පවසා තිබෙන බව පැවසේ. නමුත් නිවාඩු ලබාගැනීම සඳහා ඔහු නිවාඩු ඉල්ලූම් පත‍්‍රයක් හෝ ලබාදී නොමැතිව තිබේ.

මෙම වෙඩි තැබීම සිදුකළ රවීන්ද්‍රගේ මව පවසන පරිදි රවින්ද්‍ර දැඩි මානසික පීඩනයකට පත්ව සිට ඇත. පොලිසිය තුළ ඇතැම් නිලධාරීන් පිං පඩි ගන්නවා යැයි පවසමින් ඔහු දැඩි මානසික පීඩනයට ලක් කර ඇති බවද පුතා කළේ වැරැද්දක් බවත් දන්නවා නම් මේ දෙය සිදු කරන්නට ඉඩ නොදෙන බවත්, රවින්ද්‍ර මෙම තත්ත්වයට පත් කළේ සමාජය බව රවින්ද්‍රගේ මව පවසන්නීය.

විශේෂ කාර්ය බළකායේ සේවය වෙඩි වැදී තුවාල ලබා පසු කලෙක ඔහු පොලිසියට එක්ව තිබේ. පොලිසියේ සේවය කිරීමේදී ඔහු පීඩනයට ලක්වූ බව ද පාපොච්චාරණයේදී පවසා සිටින්නට විය.

පසුගිය යුද සමයේ ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් සුදුසුකම් දැනුම මත සම්මුඛ පරීක්ෂණය කර බඳවා ගනු ලැබුවද පහළ නිලධාරීන්ගේ උස, කඳ, බඩ මැන ආරක්ෂක අංශවලට බඳවා ගන්නා ලදී. එවන් තත්ත්වයක් යටතේ විවිධ මානසික මට්ටම්වල අය ආරක්ෂක අංශවලට බැඳෙන්නට වූහ. ඇතැමුන්ට ඉහළ නිලධාරීන්ගෙන් එන මානසික පීඩනය මිදෙන්නට නොහැකි වන්නට විය.

යුද සමයේ බංකර් මත ඇතැමෙක් අකුරු කර සිය මානසික පීඩනය නිදහස් කර තිබුණි.

උඩ වතුර තරු අයට…
මැද වතුර පටි අයට…
යට වතුර පොඩි අපිට……..

මේ එලෙස ලියවුණු වැකි කිහිපයකි. යුද්ධයේදී ඉහළ තරු නිලධාරීන්ට හොඳ පිරිසිදු ජලය ලැබේ. පටි සහිත නිලධාරීන්ට බීමට හැකි මැද වතුර ලැබෙයි. යට වතුර හෙවත් අඩියේ මඩ සහිත අපිරිසිදු ජලය පහළ පන්තියට ලැබෙන බව එම වැකි කිහිපයෙන් කියවේ.

එයින් පැහැදිලි වන්නේ ආරක්ෂක අංශ තුළ පහළ නිලධාරීන්ට දැඩි සේ එල්ල වන මානසික පීඩනයයි. ජනාධිපතිවරයාද රණවිරුවෙකි. ආරක්ෂක ලේකම්වරයා ද රණවිරුවෙකි. එවන් තත්ත්වයක් යටතේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල පහළ නිලධාරීන්ගේ සුබසාධන සහ මානසික තත්ත්වය පිළිබඳ ගැඹුරින් සිතා බැලිය යුතු බව මෙම සිදුවීමෙන් කොයි කවුරුත් සිහියට ගත යුතුව ඇත.

රවින්ද හරියයි නොකියමු. අනුමතද නොකරමු රවින්ද්‍ර වැනි මානසික පීඩනයෙන් සිටින බොහෝ පිරිස් ආරක්ෂක අංශ තුළ සිටින්නට පුළුවන. එවන් අයගේ මානසික පීඩනය නැති කිරීමට වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදීත් මෙවන් ඛේදවාචකයන් අපට අකැමැත්තෙන් වුවද අසන්නට සිදුවෙනු ඇත.

ආබාධයට ලක්වූ රවින්ද පිළිබඳ නිසි අවධානයක් යොමුකර විශ‍්‍රාම යෑමට ඉඩ සලසා දුන්නේ නම් පොලිස් නිලධාරීන් සිව් දෙනකු මරණයට පත් නොවන්නට ඉඩ තිබුණි.

බිබිල පදිංචි මාස 04 කට පෙර විවාහ වුණු ප‍්‍රබුද්ධ ගුණසේකර ගේ බිරිඳට ආදරණීය සැමියා අහිමි විය. මියගිය සියඹලාණ්ඩුව පදිංචි කුමාර නමැති පොලිස් නිලධාරිවරයාට මාස දෙකක සහ අවුරුදු දෙකක කුඩා පුතුන් දෙදෙනෙකි. පාණ්ඩිරුප්පු පදිංචි පොලිස් කොස්තාපල් නවිනන්ට සහෝදරයෙක් හා සහෝදරියක් සිටියි. පොලිස් සැරයන් අබ්දුල් කාදර් දරු දෙදෙනකුගේ පියෙකි. දැන් ඒ පවුල් සියල්ලම අසරණ වී ඇත.

මේ පරීක්‍ෂණ කටයුතු නැගෙනහිර භාර නියෝජ්‍ය පොලිස්පතිගේ නීතිඥ කමල් සිල්වා මහතාගේ උපදෙස් මත අම්පාර නියෝජ්‍ය පොලිස්පති සෙනවිරත්න මහතාගේ මඟ පෙන්වීමෙන්, අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ උපදෙස් මත අම්පාර කොට්ඨාස 2 භාර සහකාර පොලිස් අධිකාරී වාහිඞ් මහතාගේ මෙහෙයවීමෙන් උහන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති.

මෙම ඛේදවාචකයෙන් මිය ගිය පොලිස් නිලධාරීන්ට උසස්වීම් දෙන බව ද කියවුනි. වන්දි දීමට බලාපොරොත්තු වෙන බව ද වාර්තා වුණි. එලෙස මිය ගිය පවුල බිරින්දෑවරු, දරුවන්, දෙමාපියන් දැඩිසේ අසරණව ඇත. ඒවා වචනයට පමණක් සීමා නොකර ක‍්‍රියාත්මක කළ යුතු බවද බලධාරීන්ට අවධාරණය කරන්නෙමු.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment