පොලිසිය ඇඳිරි නීති බලපත් දෙන්නේ නෑ – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

695

නිරෝධායන ඇඳිරිනීතිය කි‍්‍රයාත්මක කරන කාලසීමාව තුළදී නිවසින් පිටවී යාම සඳහා කිසිම ආකාරයක බලපත‍්‍රයක් පොලිසිය මගින් නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා දිවයිනට ඊයේ (22 දා) පැවැසීය.

නිරෝධායන ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන කාලසීමාවේදී අවශ්‍යතාවන් සඳහා නිවසින් බැහැරවී යාමට පොලිසිය මගින් බලපත‍්‍ර නිකුත් කරන්නේද යන්න පිළිබඳව මහජනතාව දිගින් දිගටම පොලිසිවලින් විමසීම් කරන බවද ඒ මහතා කියා සිටියේය.

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා යන අයට සිය රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් ගමන් කළ හැකි අතර ආයතන ප‍්‍රධානීන් විසින් ලබාදී ඇති ලිපියක්ද ඒ සඳහා වලංගු බව නිහාල් තල්දූව මහතා පවසයි.

එමෙන්ම සුවිශේෂී අවශ්‍යතාවක් සඳහා නිවසින් බැහැරව යන අයකුට එම අවශ්‍යතාව පිළිබඳව පිළිගත හැකි නිවැරදි තොරතුරු පොලිස් නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් යාහැකි බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධව මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බවද නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment