පොලිසිය දේශපාලනීකරණය වීමට ඉඩ දෙන්නේ නැහැ – ආචාර්ය සරත් වීරසේකර

128

පොලිසිය දේශපාලනීකරණය වෙන්න දෙන්නෙත් නැහැ. පොලිස් නිලධාරීන්ට දේශපාලනඥයන්ගේ කිසිම වැරදි වැඩක් කරන්න අයිතියක් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

සරත් වීරසේකර මහතා මේ කරුණු පැවසූයේ අලූතින් ස්ථාපනය කරන ලද පොලිස් ස්ථාන 105ක ස්ථානාධිපතිවරුන්ගේ ගැටලූ හා ජනතාව සඳහා ක‍්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අපරාධ වාර්තා කොට්ඨාසයේ පැවැති වැඩ සටහනේදී ය. එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

පොලිස් නිලධාරීන්ට දේශපාලනඥයන්ගේ කිසිම වැරදි වැඩක් කරන්න අයිතියක් නැහැ. එසේම පොලිසිය දේශපාලනීකරණය වෙන්න දෙන්නෙත් නැහැ. සමහර දේශපාලනඥයන් ස්ථානාධිපතිවරුන් පත් කරන්න කියලා නොයෙකුත් නිර්දේශ දෙනවා. අපි බොහොමයක් ඒවා ප‍්‍රතික්ෂේප කරලා තියනවා. සමහර වෙලාවට හොඳ නිලධාරියෙක් හිටියොත් ඔවුන් ගැන හොඳට හොයලා බලලා තමයි ස්ථානාධිපතිවරු විදියට පත් කරන්නේ, ඒකත් කරන්නේ වෙනම කමිටුවක් පත් කරලා පොලිස්පතිතුමාගේ සහ ලේකම්තුමාගේ නිර්දේශය මතයි. තමන් ස්ථානාධිපතිවරයකු වශයෙන් තමන්ගේ පොලිස් ස්ථානයේ වැඩ කරන නිලධාරීන්ගේ හා තමාට අයත් වසමේ ජනතාවගේ සුබ සාධනය හා සුබ සිද්ධිය උදෙසා සේවය කළ යුතු යි. තමාගේ රාජකාරිය තුළදී යහපත් චේතනාවෙන් යම්කිසි කාර්යයක් ඉටු කිරීමේදී වැරදීමක් සිදු වුවහොත්, ඇමැතිවරයා වශයෙන් තමාත්, පොලිස්පතිතුමා, ලේකම්තුමා එම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා.

අද පොලිස් දෙපාර්තමේන්තුවට රාජ්‍ය සේවා කොමිසම සලකන්නේ අනෙකුත් දෙපාර්තමේන්තුවලට සලකන ආකාරයෙන් බවත්, පොලිස් දෙපාර්තමේන්තුව අනෙක් දෙපාර්තමේන්තුවලට වඩා වෙනස් වෙන්නේ මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 3500ක් කොටින් සමග සටන් කිරීමේදී ජීවිත පරදුවට තබා ඇති අතර, කොවිඞ් 19 රාජකාරී කටයුතුවලදී 15,000ක් පමණ ආසාදිත වී 55ක් පමණ මිය ගිහින් ඇති අතර, රථවාහන රාජකාරිවලදී පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 230ක් මහමග මියගොස් ඇති අතර පාතාලයන් මංකොල්ලකරුවන් නිසා තම ජීවිත පවා අනතුරේ දමා සේවය කරන නිලධාරීන් පිරිසක්, මෙම දෙපාර්තමේන්තුවේ සේවය කරනවා.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස්, පොලිස්පති චන්දන වික‍්‍රමරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහුද සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment