පොලිසිය යතුරු පැදිවලින් ලුහුබැඳ ගොස් වෙඩිපිට වෙඩිතබා හරක් ලොරිය නවත්වයි

460

හරක් විස්සක් අට්ටි ගහලා කිරි එළදෙනෙක් මරුට!
සර්… ගහන්න එපා.. ඒඑස්පී මහත්තයා තමයි දවල් දොළහට හරක් පටවන්න කිව්වේ… – සැකකරුවෙක් කියයි

තිස්සමහාරාම ජූල්පතාන වැව්පිටියෙන් පැටවූ ගවයන් 20 පැටවූ ලොරි රථයක් පසුපස ලුහුබැඳ වෙඩි දහයක් තබා සිරියාගම ප්‍රදේශයේ ලොරි රථය නතර කොට සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් තවත් සැකකරුවන් දෙදෙනකු පලාගිය බවත් තිස්සමහාරාම පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ‘ගහන්න එපා සර්… ඒඑස්පී මහත්තයා තමයි දවල් 12.00ට හරක් පටවන්න කියල කිව්වේ…’ යනුවෙන් පැවසූ බව එම ස්ථානයට රැස්ව සිටි ගම්වාසීන් සඳහන් කළේය. මේ පිළිබඳ පොලිසියෙන් විමසා සිටි අවස්ථාවේ සැකකරුවන් එවැන්නක් පොලිසියට පවසා නැති බවත් බේරීමට එවැන්නක් පවසන්නට ඇති බවත් තිස්සමහාරාම පොලිසියේ ස්ථානාධිපති ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක මනෝහර කුඩා ගොඩගේ යසස් සඳහන් කළේය.

පොලිසිය යතුරු පැදිවලින් ලුහුබැඳ ගොස් වෙඩිපිට වෙඩිතබා හරක් ලොරිය නවත්වයි

8 වැනිදා සවස හතරට පමණ ජූල්පතාන වැව් පිටියේ ලොරියකට හරක් පටවන බවට ප්‍රදේශවාසීන් ගෙන් ලද තොරතුරකට අනුව තිස්සමහාරාම පොලිස් බුද්ධි අංශ නිලධාරීන් එම ස්ථානයට යන විට හරක් පටවන ලද ලොරිය වේගයෙන් ඉදිරියට පැමිණෙමින් තිබී ඇත. ලොරියට නතර කරන ලෙස පොලිසිය අණ කළත් එය නොනවත්වා වේගයෙන් ඉදිරියට ධාවනය කර බව පොලිසිය සඳහන් කළේය.

උද්දගන්දර සිට ඉදිරියට ධාවනය කරන ලද ලොරිය පසුපස යතුරුපැදි දෙයකින් පොලිස් බුද්ධි අංශ නිලධාරීන් හතර දෙනෙකු ලුහුබැඳ ගියද නතර නොකිරීම හේතුවෙන් ටයර්වලට වෙඩි කිහිපයක් එල්ල කර තිබේ. එහිදී උද්දකන්දර හරියෙ ත්‍රිවීල් එකකට වෙඩි පහරක් එල්ල වුණා වගේ දැනුන නිසා අපේ බයික් දෙකෙන් එකක් එතන නතර වුණා. පසුව අපි එක් යතුරුපැදියකින් ලුහුබැන්දා. තවත් වෙඩි කිහිපයක් ටයර්වලට එල්ල කරා. වෙඩි වැදුනත් කිලෝමීටර් හයක් පමණ ලොරිය වේගයෙන් ධාවනය කළා. යතුරුපැදියට ඉස්සර කිරීමට ඉඩ දුන්නෙම නෑ. කිහිපවිටක් යතුරුපැදි යට කරන්නට උත්සාහ කළා. එහෙත් වැඩිදුර යා නොහැකි බව දන්න නිසා අපි ලොරිය පසුපස ලුහු බැන්දා. පසුව තව වෙඩි කිහිපයක් එල්ල කරා තවත් ටයර් එකකට වෙඩි වැදී ලොරිය පෙරළෙන්නට ගිය නිසා ලොරිය නතර කරා. රියැදුරු ඇතුළු ප්‍රධාන සැකකරු අල්ල ගන්න හැකි වුණා. දෙන්නෙක් පැනලා ගියා යනුවෙන් එම වැටලීම සිදුකළ නිලධාරියකු පැවසීය.

පසුව එම සැකකරුවන් සහ ලොරි රථය තිස්සමහාරාම පොලිසියට රැගෙන විත් තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිරියාගම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බව පොලිසිය සඳහන් කළේය.

අඩි 12 ක දිගැති තට්ටු ලොරියක පැටවුන් දෙදෙනෙකු සමග එළ ගවයන් විස්සක් අමානුෂික ලෙස ගැට ගසා එකා උඩ එකා අට්ටි ගසා තිබිණි. එම ගවයින් ලොරියෙන් එළියට ගන්නා අවස්ථාවේ එක කිරි එළදෙනෙකු ගෙල සිර වී මිය ගොස් සිටි අතර තවත් ගවයන් කිහිප දෙනකු මරණාසන්න වී සිටියේය. පසුව පොලිස් නිලධාරීන් එම ගවයින්ට මූලික ප්‍රතිකාර සිදු කරන ලදී.

හරක් පට්ටියකින් රුපියල් ලක්ෂ දහයකට මෙම ගවයන් මිලදීගත් බවත්, බේරුවල මස් කඩයකට රැගෙන යන බව සැකකරුවන් පවසා තිබේ. එහිදී ලොරි රථයේ අමානුෂික ලෙස ගවයන් විස්සක් රැගෙන යෑමට කටයුතු කළේ ඇයි ද යන්න විමසා සිටි අවස්ථාවේ ඔවුන් පවසා ඇත්තේ කොහොමත් මසට නේ සර්.. ගෙනියන්නේ යනුවෙනි. සැකකරුවන් තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පැවසී ය.

උද්දකන්දර ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයට ලක් වූ ත්‍රිරෝද රථය ද තිස්සමහාරාම පොලිසියට රැගෙන විත් තිබිණි. ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබිණි. මම වෙලාවට ත්‍රිවීල් එක ඇතුළේ සිටියේ නැතැයි ඔහු ප්‍රකාශ කර තිබිණි.

මෙම වැටලීම සිදු කළේ තිස්සමහාරාම පොලිසියේ ස්ථානාධිපති ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක මනෝහර කුඩා ගොඩගේ යසස් මහතාගේ මෙහෙයවීම මත තිස්සමහාරාම අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චතුර, පො.කො. (76261) අමරසේන, පො.කො. (78087) සමීර්, පො.කො (85274) ධනුෂ් පො.කො. (60343) අමිල යන නිලධාරින් විසිනි.

තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී, දෙබරවැව – ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment