පොලීසියට පුස්පාට් දැමූ ගජේන්ද්‍ර හැංගිලා

418

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්‍ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගැනීම සඳහා කිළිනොච්චිය මරදන්කේනි පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

සැකකාර මන්ත්‍රීවරයා රටින් පලායෑම වැළැක්වීම සඳහා මරදන්කේනි පොලිසිය කිළිනොච්චිය අධිකරණයෙන් වාරණ නියෝගයක් ද ලබාගෙන තිබේ.

ගජේන්‍ද්‍ර කුමාර් පදිංචි නිවස සහ ඔහු ගැවසෙන ස්ථාන කීපයක් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පරික්‍ෂාවට ලක්කළ අතර එම ස්ථානවල සැකකරු නොසිටි බව පොලිසිය පවසයි.

සැකකාර මන්ත්‍රීවරයා කොළඹ බලා ගිය බවට ලැබුණු තොරතුරු මත විශේෂ පොලිස් කණ්ඩායමක් කොළඹට යැවීමට කටයුතු කර තිබේ.

කිළිනොච්චිය මරදන්කේනි තාලෙඅඩි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසල ක්‍රීඩාංගණයේ රැස්වීමක් පැවැත්වීමට උත්සාහ කරද්දී එහි රාජකාරි කළ පොලිස් නිලධාරීන් සැකකාර මන්ත්‍රීවරයාට එය නතර කරන ලෙස පවසා ඇත. එහිදී කෝපයට පත් වූ මන්ත්‍රීවරයා රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට ඉතාම පහත් ආකාරයට බැණවැදී රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී තිබේ.

එහි රාජකාරි කළ පොලිස් නිලධාරියකු සිය ග්‍රහණයට ගෙන ඔහුට දැඩි බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

මෙම අවස්ථාවේ කෝපයට පත් වූ සැකකාර මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ට බැණ වැදී ඇත්තේ “ මම පාර්ලිමේන්තු මන්ත්‍රී තමුසෙගෙ ඩියුටිය එහෙ. මෙහෙ නෙමෙයි, උඹ කටවහපන්. උඹ පොලිසිය ගැන දන්නෙ නැහැ” යනුවෙන් ඉතාම පහත් ආකාරයට ය.

විභාග මධ්‍යස්ථානය අසල රාජකාරි කළ පොලිස් නිලධාරියකු සිය ග්‍රහණයට ගෙන ඔහුට දැඩි බලපෑම් එල්ලකිරීම සම්බන්ධයෙන් ගජේන්‍ද්‍ර කුමාර් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

පොලිස් නිලධාරින්ට අයුතු බලපෑම් කිරීම අයුතු සිරකර තැබීම. අයුතු ජනරාශිය, බලහත්කාරය යන චෝදනා යටතේ සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව කිළිනොච්චිය අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පොලිසිය කටයුතු කර තිබිණි.

සැකකාර මන්ත්‍රීවරයාගේ තර්ජන ගර්ජන හමුවේ නොබියව සිය රාජකාරිය ඉටු කිරීමට පොලිස් නිලධාරියා කටයුතු කිරීම පොලිස් දෙපාර්තමේන්තුවට ගෞරවයක් බව පොලිස් නිලධාරීහු පවසති.

මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජීව මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment