පොලී අනුපාතය ඉහළ දැමීමෙන් ව්‍යාපාරික ප්‍රජාවට වන බලපෑම

1233

ලංකාවේ බහුතරයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, බැංකු හා මූල්‍ය සමාගම්වල සහයෝගය සහිතව ව්‍යාපාර කරගෙන යන ව්‍යාපාරිකයෝ වෙති. පොලී අනුපාතිකය ඉහළ දැමීම හරහා ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික අවශ්‍යතා සඳහා බැංකුවෙන් ලබාගන්නා අයිරා  (OD) පහසුකම් සහ ණය පහසුකම් වලට අධික පොලියක් ගෙවීමට සිදුවේ. පාවෙන පොලී අනුපාත මත මීට පෙර ණය පහසුකම් ලබාගත් ව්‍යාපාරිකයන් ඉදිරියේදී දැඩි අපහසුතාවකට පත්වනු ඇත. මෙම අධික ණය පොලී වැඩිවීම හරහා ව්‍යාපාර බිඳ වැටීම නොවැළැක්විය හැකි තත්ත්වයක් වනු ඇත. රටේ ව්‍යාපාර අධෛර්යමත් වීම හරහා රැකියා උත්පාදනයට දරුණු පහරක් එල්ලවී රටේ විරැකියාව වර්ධනය වීමේ ප්‍රතිවිපාකයක් උද්ගතවීමේ අවදානමක්ද පවතී.

පොලී අනුපාතය ඉහළ දැමීමෙන් ව්‍යාපාරික ප්‍රජාවට වන බලපෑම

මහ බැංකුවේ නව අධිපතිවරයා වන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 08 රැස් වූ මුදල් මණ්ඩලය, ලංකාවේ ආර්ථිකය පත්වී ඇති ව්‍යසනකාරී තත්ත්වයෙන්  ගොඩගැනීමේ අරමුණින් යුතුව පොලී අනුපාත ඉහළ දමන ලදි. ඒ අනුව 6.5% ක පැවති නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.5% ක් දක්වාත් 7.5%ක පැවති නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14.5% ක් ලෙසද ඉහළ දමා ඇතැයි මහ බැංකුව විසින් නිවේදනය කරන ලදී. උද්ධමනය පාලනය හා විනිමය අනුපාතිකය ස්ථාවර කිරීමට අවශ්‍ය පෙළඹවීම ලබා දීම මෙන්ම වෙළෙඳපොළ පොලී අනුපාත ව්‍යුහයේ නිරීක්ෂණය වූ විෂමතා නිවැරදි කිරීම මෙමගින් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

 ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මාධ්‍ය හමුවේ දක්වා සිටින ලද්දේ පසුගිය අවුරුදු දෙක තුළ පැවතී අඩු පොලී අනුපාත සහ අඩු බදු ක්‍රමයෙන් වාසි ලබාගත්තේ ව්‍යාපාරික පන්තිය බවත් එහිදී ඉතිරිකිරීම්වලින් ජීවත් වූ ජනතාවට විශාල අවාසියක් සිදුවූ බවත් එහෙත් වර්තමාන පොලී ඉහළ දැමීම හරහා එසේ පීඩාවට පත්වූ ජනතාවට දැන් සහනයක් ලැබෙනු ඇති බවයි. ඔහු තවදුරටත් පැවසුවේ ඉහළ උද්දමනයක් පවතින මෙවන් අවස්ථාවක බැංකු පොලිය ඉහළ දැමීමෙන් එම ජනතාවට සහනයක් ගෙන දිය හැකි බවයි.

 මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් දසනායක මහතා පෙන්වාදෙන පරිදි, මෙහිදී මහබැංකුවේ මූලික උපාය වන්නේ ආනයන අපනයන ක්‍ෂේත්‍රයට සම්බන්ධ ලංකාවේ ව්‍යාපාරිකයන් විදේශ රටවල රඳවා ඇති ඩොලර් බැංකු පද්ධතිය හරහා ලංකාවට ගෙන ඒම ධෛර්යමත් කිරීම තුළින් කලුකඩ ක්‍රමය අධෛර්යමත් කිරීමත්, ලංකාව ඒ තුළින් ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ලංකා රුපියල පවතින තත්ත්වයෙන් ඔබ්බට අවප්‍රමාණය වීම වැළැක්වීම බවයි. එමෙන්ම මෙතෙක් මුද්‍රණය කර ඇති මුදල් නෝට්ටු ප්‍රමාණය තැන්පතු හරහා බැංකු තුළට ඇදගැනීම තුළින් සංසරණය වන මුදල් ප්‍රමාණය අඩුකර – ඉල්ලුම අඩු කිරීම තුළින් උද්ධමනය අඩු කිරීම වේ. මෙය ˜Cool off the economy˜ නමින් හැඳින්වෙන සංකල්පයක් බව ඔහු පෙන්වා දෙයි.

 නමුත් පොලී අනුපාතික මෙලෙස දැවැන්ත ලෙස ඉහළ දැමීම තුළින් රටේ ආර්ථිකයේ ලොකුම පංගුව දරා සිටි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවට ඉදිරියේදී දැවැන්ත පහරක් එල්ල වීමත් ඒ හරහා නැවතත් සැපයුම් ධාරාව නැවතත් අඩපණ වීම තුළින් මහබැංකුව සිහින දකින සහනය මහජනතාවට ලැබේද යන්න ප්‍රශ්නාර්ථයක් ලෙස වර්තමානයේ පැනනගිනු ඇත.

 ලංකාවේ බහුතරයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, බැංකු හා මූල්‍ය සමාගම්වල සහයෝගය සහිතව ව්‍යාපාර කරගෙන යන ව්‍යාපාරිකයෝ වෙති. පොලී අනුපාතිකය ඉහළ දැමීම හරහා ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික අවශ්‍යතා සඳහා බැංකුවෙන් ලබාගන්නා අයිරා (OD) පහසුකම් සහ ණය පහසුකම් වලට අධික පොලියක් ගෙවීමට සිදුවේ. පාවෙන පොලී අනුපාත මත මීට පෙර ණය පහසුකම් ලබාගත් ව්‍යාපාරිකයන් ඉදිරියේදී දැඩි අපහසුතාවකට පත්වනු ඇත. මෙම අධික ණය පොලී වැඩිවීම හරහා ව්‍යාපාර බිඳ වැටීම නොවැළැක්විය හැකි තත්ත්වයක් වනු ඇත. රටේ ව්‍යාපාර අධෛර්යමත් වීම හරහා රැකියා උත්පාදනයට දරුණු පහරක් එල්ලවී රටේ විරැකියාව වර්ධනය වීමේ ප්‍රතිවිපාකයක් උද්ගතවීමේ අවදානමක්ද පවතී. එමෙන්ම, මූල්‍ය ප්‍රාග්ධනය මිල අධික වීම හේතුවෙන් බොහෝ ව්‍යාපාර වර්ධනය නොවීම හා රටේ ආර්ථික වර්ධන වේගය තවදුරටත් අඩාල වීමටද ඉඩ ඇත.

 මහබැංකුව පොලී අනුපාත ඉහළ දැමීම තුළින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ ව්‍යාපාරික ප්‍රජාව විදෙස්හි තබා ඇති මුදල ලංකාවට ගෙන ඒම නම්, එම අරමුණ ඉලක්ක කරගත්, එම ව්‍යාපාරික ප්‍රජාවට ඍජුව බලපාන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම තුළින් එම මුදල් රටට ගෙන ඒමට කටයුතු කළේ නම් වඩා යෝග්‍ය බව විචාරක මතය ලෙස දැක්විය හැක.

 උද්ධමනය ඇතිවීමට ප්‍රධානතම හෝ එකම කාරණාව මුදල් අච්චු ගැසීම පමණක් නොවේ. ඊට බලපෑ අනෙකුත් සාධක එලෙසම පවතින අතර මුදල් අච්චු ගැසීම ආපසු හැරවීමට යෑමෙන් මහජනතාව කබලෙන් ළිපට වැටීමක් ඉදිරියේදී සිදුවීමේ ඉඩකඩ වඩා වැඩි මට්ටමක පවතී. රට ආර්ථික අගාධයකට පත්ව ඇති මෙවන් යුගයක මහබැංකුව න්‍යායන් සහ උපකල්පන මත පමණක් සිට කටයුතු කරනවා වෙනුවට ප්‍රායෝගිකව ලංකාවේ පොදු මහජනතාව පත්ව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන තීරණ ගැනීම කළයුතු වේ.

 මෙම මුදල් ප්‍රතිපත්තිය තුළින් බලාපොරොත්තු වන ප්‍රතිඵල කොපමණ කාලයකින් ලැබෙනවාද පොලී ප්‍රතිපත්ති රටේ සාමාන්‍ය ව්‍යාපාරිකයන් දිරිමත් කිරීමේ මට්ටමකට නැවත පහත දැමීමට බලාපොරොත්තු වන්නේ කුමන කාලයකදීද යන්න මහබැංකුව අනිවාර්යයෙන්ම රටට දැක්විය යුතු කාරණාවක් වේ. එමගින් ව්‍යාපාරික ප්‍රජාවට තම අනාගතය සැලසුම් සකස්කර ගැනීමට අවස්ථාවක් සැපයෙනු ඇත.

 මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් දසනායක මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ  IMF ණය පහසුකම් අනුමත වීමට සාකච්ඡා ආරම්භ කර අවම වශයෙන් මාස හයක් හෝ අටක් ගත බවත් ඒ අතර ඔවුන් අනතුරට ලක්ව ඇති රටේ දේශපාලන ස්ථාවරත්වය ඇතිකළ යුතු බවට ඉල්ලා සිටීමට ඉඩ ඇති බවයි. එමෙන්ම  IMF සමග කටයුතු කිරීම ආරම්භ කිරීමෙන් පසු, පොලී අනුපාතිකය තවදුරටත් ඉහළ දැමීමට අවශ්‍ය වන බව පෙනෙනු ඇති බවයි. මෙම තත්ත්වය රටක් අරමුණු කොටගෙන තීරණ ගැනීම වඩාත් සංකීර්ණ තත්ත්වයකට පත්කරන බැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විද්වත් මඬුල්ලක් උපදේශනය සඳහා ඉදිරි පස් අවුරුදු කාලයකට පත්කරගැනීම තුළින් කෙටි කාලීනව විදේශ මුදල් උත්පාදනය කිරීමට අවශ්‍ය නව ක්‍රමවේද සහ රටේ පොදු මහජනතාවට අවම බලපෑමක් වන පරිදි ආර්ථිකය නංවාලීමට අවශ්‍ය කෙටිකාලීන සහ දිගුකාලීන ක්‍රමවේද මහ බැංකුවට ලබා ගත හැකි අතර ඒ තුළින් රටේ සෑම අංශයකටම අවම පීඩාවක් ඇතිවන ආකාරයට කටයුතු කිරීමට හැකිවන බවයි.

 ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් දසනායක මහතා වැඩිදුරටත් කියා සිටින්නේ. “නව මහ බැංකු අධිපතිවරයා ගොවීන්ගේ පොහොර ප්‍රශ්නය පිළිබඳව තවමත් කිසිදු ප්‍රකාශයක් නිකුත් කරල නෑ. විනිමය අනුපාත ස්ථාවර කරගන්නවා වගේම ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී එන ආහාර හිඟය නැවැත්වීමටත් මහ බැංකුව කටයුතු දියත් කළ යුතුයි.

 ඉන්දියානු ණය ආධාර නිසා ඉදිරි මාස දෙක අපිට ජීවත් වෙන්න පුළුවන්, නමුත් ජුනි මාසයේ ගෙවන්නට තිබෙන ණය වාරික ගැටලුව එක්ක අපේ ගොඩක් බලාපොරොත්තු බිඳ වැටෙන්න පුළුවන්. වත්මන් ආර්ථික අර්බුදයේ බරපතළකම, එහි අනාගත තත්ත්වය, රටේ මූල්‍ය තත්ත්වය අප ඒ වෙනුවෙන් ගන්නා පැහැදිලි ක්‍රියාමාර්ග පිළිබඳව පුරවැසියන් දැනුවත් කිරීම තුළින් ජනතාව සූදානම් කිරීම සහ ජනතාවගේ සහයෝගය ලබාගැනීම මේ අවස්ථාවේ අප කළ යුතුයි.”

 සියලු සාර්ව ආර්ථික විචල්‍යයන් අන්තර් සම්බන්ධිත බැවින් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට මෙම පොලී අනුපාත ඉහළ දැමීම උපකාරී වන බව පිළිගත හැකි කාරණාවක් වේ. මහ බැංකු අධිපතිවරයා තේරුම් ගතයුතු අනෙක් කාරණාව වන්නේ අමුද්‍රව්‍ය හිඟය නිසා දැනටමත් ලංකාවේ ව්‍යාපාර බොහොමයක් අඩපණ වී ඇති බවයි. එමනිසා පරිභෝජනය ඉලක්ක කරගත් ණයවලට අදාළ වෙන පරිදි පොලී අනුපාත ඉහළ දැමීම හෝ ව්‍යාපාර කඩාවැටීම වළක්වාලීම සඳහා සාධාරණ අනුපාතයක් ලබා දීම කළයුතුව ඇත. ලෙබනන් රටට පසුගිය වසරක කාලය ඇවෑමෙන් අදවන විට පත්වී ඇති භයානක ඉරණම ලංකාවට අත්නොවීමට කටයුතු කිරීම ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවට පැවරී ඇති භාරදූර වගකීමක් වේ.

 ආචාර්ය ඩබ්ලිව්. කේ. කොළඹගේ
 අධ්‍යක්ෂ – ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය

advertistmentadvertistment
advertistmentadvertistment