පොලු මුගුරුවලින් පහරදී ව්‍යාපාරිකයා මැරූ සැකකරුවෝ අත්අඩංගුවට

637

පියා බේරගන්න පැමිණි පුතාටත් ගහලා

කැලණිය, වරාගොඩ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයකුට පොලු මුගුරුවලින් හා තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර පලායෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනාගෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි කැලණිය පොලිසිය පවසයි.

ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් තිදෙනා කැලණිය, තල්වත්ත ප්‍රදේශයේ නිවසක සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පලාගිය අනෙක් සැකකරු සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

එකම රාත්‍රියකදී මංකොල්ලකෑම් තුනක් සහ මිනිස් ඝාතනයක් සිදුකර ඇති මෙම සැකකරුවන් කුලී ගමනක් යන මුවාවෙන් ගෙන්වා ගත් වෑන් රථයක් පැහැරගෙන ගොස් මෙම අපරාධ සිදුකර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි ව්‍යාපාරිකයකු වන පරණවිතානලාගේ කුමාර චන්ද්‍රලාල් නමැති එක්දරු පියෙකි. වෑන් රථයේ රියදුරුට පහරදී රියදුරාව කැලණිය කොස්කුඹුර ප්‍රදේශයේ දී රථයෙන් බිමට ඇද දමා රථය පැහැරගෙන ගොස් ඝාතනයට ලක්වූ පුද්ගලයා පදිංචිව සිටි වරාගොඩ පාරේ නිවසට 26 වැනිදා රාත්‍රී 11.30 ට පමණ ඇතුළු වී ඔහුට පහර දී ඇති අතර සිය පියා බේරාගැනීමට පැමිණි ඔහුගේ පුත්‍රයාටද පොලු මුගුරු වලින් පහරදී තුවාල කර ඇත. පහර කෑ පියා මියගොස් ඇති අතර පිය පුතු දෙදෙනාට පහරදුන් මැර කණ්ඩායම එම නිවසින් ඔප්පු පහක් සහ රන් මුදුවක් පැහැරගෙන පලාගොස් ඉන් පසුව කිරිබත්ගොඩ ප්‍රදේශයේ හෝටලයකට ද පහරදී අලාභහානි සිදුකර මැරවරයින් පලාගොස් ඇත.

තුවාල ලැබූ තරුණයා මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර පියාගේ මෘතදේහය මේ වන විට කිරිබත්ගොඩ රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇත.

ඉඩම් ඇපයට තබාගෙන මුදල් ලබාදීම මියගිය පුද්ගලයා විසින් සිදුකර ඇති අතර මැර කණ්ඩායම ගෙහිමියාට පහරදී මුදල් ඉල්ලා ඇති අතර පියා බේරා ගැනීමට පැමිණි පුතාටද පහර දී තුවාල සිදුකර ඉඩම් ඔප්පු පහක් සහ රං මුද්දක්ද රැගෙන පලා ගොස් ඇත.

කැලණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුගත් වල්පොල මහතාගේ අධීක්ෂණයෙන් මෙම මිනිස් ඝාතනය පිලිබදව පරීක්ෂණ සිදු කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිම සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

කැලණිය – මංගලා මදුරප්පෙරුම, ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment