පොලොන්නරුවට මහ වැස්සක්… කළ හදියක්…

116

අධික වර්ෂාව සමඟ ඇතිවූ තද සුළං හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05ක පිහිටි නිවාස 52කට හානි සිදුවී ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.

මෙම නිවාස හානි බොහොමයක් වාර්තාවී ඇත්තේ අර්ධ හානි වශයෙන් බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා ප්‍රකාශ කළේය.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව, පලුගස්දමන ප්‍රදේශයේ පිහිටි කුණු ඇළක් පිටාර ගැලීම නිසා ඒ අවට පිහිටි නිවාස 17ක් ජලයෙන් යටවී ඇතැයිද ඒ මහතා කීය.

එමගින් පීඩාවට පත් පවුල්වලට පිසූ අහාර ලබාදීමට කඩිනම් පියවර ගෙන තිබෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසීය.

මේ අතර ප්‍රදේශ රැසක මාස් කන්නයේ වගාකරන ලද කුඹුරු සහ ගෙවතු වගාවන්ද ජලයෙන් යටවී තිබේ.

වගා කරන ලද කුඹුරු කොපමණ ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇත්ද යන්න මෙතෙක් වාර්තාවී නැතැයි දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ පෙරේදා (01 දා) සවස සහ ඊයේ (02දා) අලුයම පැවැති දැඩි සුළං තත්වය නිසා නිවෙස් මතට ගස් කඩා වැටීම්, වහලය සුළඟට ගසාගෙන යෑම ආදිය හේතුවෙන් බොහොමයක් නිවාස හානි සිදුව තිබෙන බවයි.

තමන්කඩුව ප්‍රාදෙශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 09ක නිවාස 24ක් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක නිවාස 14ක්, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 08ක නිවාස 09ක්, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 04ක නිවාස 04ක්, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 01ක නිවාස 01ක් වශයෙන් මෙම හානි වාර්තාවී ඇති බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

මෙමගින් පීඩාවට පත්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 194ක් බවද ඒ මහතා කීය.

මේ අතර අධික සුළඟ හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය රැහැන් මතට ගස් කඩා වැටීම නිසා විදුලිය සැපයුම ඇණහිට ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය කියයි.

මේ වනවිට එම විදුලි රැහැන් පද්ධති යථා තත්වයට පත්කරමින් සිටින බව විදුලිය අධිකාරීවරු පැවැසූහ.

අධික වර්ෂාව හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඊයේ (02)වනවිට අක්කර අඩි එක් ලක්‍ෂ දස දහස ඉක්මවා තිබෙන බව පොලොන්නරුව කලාපය භාර වාරිමාර්ග අධ්‍යක්‍ෂ එල්. එම්. ඩබ්ලිව්. රත්නසිරි මහතා ප්‍රකාශ කළේය. වර්ෂාව තවදුරටත් නොකඩවා පැවැතුණහොත් වැවේ වාන් දොරටු දහයෙන් කිහිපයක් විවෘතකර අතිරික්ත ජලය පිටතට මුදාහැරීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment