පොසොන් උළෙලට සල්ලි හොයන්න මිහින්තලේ හිමිවරු පිඬුසිඟා වඩිති

228

රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න බැරිනම් ගැසට් එක වහාම අවලංගු කරන්න
වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි

මිහින්තලේ රජමහා විහාරස්ථාන මැද මළුවේදී ඊයේ (24 දා) පස්වරුවේ පැවැති අවසන් පොසොන් කමිටු රැස්වීමේදී මිහින්තලය ආලෝක පූජාවට, මිහින්තලේ පෙරහැරට සහ මංමාවත් සඳහා ගෙවීමකින් තොරව විදුලිය ලබාදිය නොහැකි බව මිහින්තලේ විදුලි අධිකාරී ධම්මික ප්‍රභාත් සරණතිස්ස මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමග එම කමිටු රැස්වීම අවසානයේ දී මිහින්තලේ නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය විදුලි බිලට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ.

මෙහිදී හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මාසික වැටුප වන රුපියල් 54285ක මුදලක්, ඒ මහතාගේ ලේකම් උදය දේශප්‍රිය මහතා විසින් විදුලි බිලට ආධාර ලෙස පරිත්‍යාග කරන ලදී.

මිහින්තලය මහජන පොළ පැවැති ඊයේ (24) පිඬුසිඟා වැඩම කළ මහා සංඝරත්නය වෙත මහජන පොළේ වෙළෙන්දෝ, පාරිභෝගික ජනතාව, ආබාධිත පුද්ගලයෝ , අන්‍යාගමික අය තමන්ට හැකි පමණින් මුදල් ආධාර පරිත්‍යාග කළහ.

මෙහිදී අදහස් දැක්වූ මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණෝ මෙසේ පැවසූහ.

“2331 වන පොසොන් පිංකම ලබන මාසේ දෙවැනි දා පටන් ගන්නවා. ජල සම්පාදනය නම් ගැටලුවක් නෑ. පැමිණෙන පිරිසට අවශ්‍ය කරන ජලය සීමාවකින් තොරව ලබා දීමට කටයුතු කරන බව දැන්වූවා.

ප්‍රධාන ගැටලුව තමයි විදුලිය. විශේෂයෙන් රාත්‍රී කාලයේදී. අද පොසොන් කමිටුවට පැමිණි මේ නිලධාරීන් ඒ ඔක්කොම එකතු වෙලා කැපවෙලා වැඩ කරනවා. එතුමන්ලාට අපි ප්‍රශංසා කරනවා මේ කටයුත්ත වෙනුවෙන් දායකත්වය ලබාදීම සම්බන්ධයෙන්. මේ විදුලි නිලධාරීන්ට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඇවිල්ලා තියන නියෝගය තමයි මුදල් ලබා දෙන්නේ නැතුව විදුලිය සැපයුම ලබා දෙන්න එපා කියන එක. නිලධාරීන්ට කරන්න දෙයක් නැහැ.

මේ වගේ රාජ්‍ය උත්සවයකට, පූජනීය කටයුත්තකට ඇයි මෙහෙම කරන්නේ. පාර්ලිමේන්තුවේදී කතා කරා නේද මේ ප්‍රශ්නය. මේ අයට ඇස් පේන්නේ නැද්ද? කන් ඇහෙන්නේ නැද්ද? දන්නේ නැහැ, මේ කෙරෙහි නැඹුරුවක් ඇත්තෙම නැහැ. අද මේ සියලුම දෙනා මෙතෙන්ට පැමිණිලා ඉන්නේ බැතිමතුන්ගේ යටිතල පහසුකම් සැපයීම් පිළිබඳ සාකච්ඡා කරන්න. මේ සියලු දේවල් කරන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් උදෙසායි.

පන්දම් පත්තු කරගෙන තමයි පෙරහැර කරන්න වෙලා තියෙන්නෙ, කන්ද තරණය කරන්න වෙලා තියෙන්නේ, ඒ පළමු අඬහැරය මේ පොසොන් එකෙන් පටන් ගන්නවා. මේක ලංකා සිතියමට අයිති බිමක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවර කලාවිය මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 577 තුලානේ තමයි මේ මිහින්තලා රජමහා විහාරය පිහිටා තිබෙන්නේ. රජය කිසිදු සැලකිල්ලක් නැති බව දැන් අපට පේනවා. මම මේ සියලු දෙනාට එක දෙයක් කියන්න කැමතියි. කොහොමහරි ආලෝක පූජාවත් මිහිඳු මහා පෙරහැරත් පවත්වනවා. මේ අයට මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න බැරිනම් පොසොන් උත්සවය රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කරපු එක වහාම අවලංගු කරන්න ඕනේ.”

මෙහිදී අවසාන ලෙස අදහස් දක්වමින් මිහින්තලා පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා මෙසේ පැවසීය.

“මෙවර පොසොන් උත්සවය සඳහා මුදල් ගෙවීමට යම් යම් බාධා ඇතිවී තිබෙන බව පෙනී ගියා. එන බැතිමතුන්ට අවම මට්ටමකින් හෝ පහසුකම් සපයන්න අපි හැමෝගෙම වගකීමක් තියෙනවා, ජල සම්පාදන මණ්ඩලය, විදුලි විදුලිබල මණ්ඩලය, ප්‍රාදේශීය සභාව කාරුණිකව නායක හිමිපාණන් වෙනුවෙන් අවම මට්ටමකින් හෝ පහසුකම් සපයනවා. ඔබ සැමගේ උපරිම සහයෝගය ලබාදෙන්න කියා ඉල්ලා සිටිනවා”

මෙම පොසොන් කමිටු රැස්වීම සඳහා මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි, කෝප් කමිටු සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා, වගකිවයුතු සියලු රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක අංශ සාමාජිකයෝ, සිවිල් සංවිධාන නියෝජිතයෝ ද සහභාගී වූහ.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment