පොසොන් සතිය හෙට සිට

54

අනුරපුර ප්‍රා.ලේකම් කොට්ඨාස 3ක සුරාසල් සහ නගර සීමාවේ මස්කඩ හෙට සිට සතියක් වැසේ

පොසොන් සතිය හෙට (18දා) සිට 24 දා දක්වා පැවැත්වෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්, පොසොන් කමිටු සභාපති ජනක ජයසුන්දර මහතා පවසයි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් අටමස්ථාන විහාරස්ථානවල විශේෂ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. මෙවරද අටමස්ථානය, ඓතිහාසික මිහින්තලාව සහ තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගනිමින් පොසොන් සතිය ක්‍රියාත්මක වෙයි.

මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක බලපත්‍ර හිමි සුරාසල් හා මස්කඩ වසා දැමීමට පියවර ගෙන ඇත. ඒ අනුව අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත, මධ්‍යම නුවරගම් පළාත හා මිහින්තලය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනට අයත් සියලු සුරාසල් හෙට (18) සිට 24 දක්වා සතියක කාලයක් වසා තැබේ. මේ අතර අනුරාධපුර නගර සීමාවේ පිහිටි සියලුම මස්කඩ ද පොසොන් සතිය තුළ වසා දැමීමට පියවර ගෙන ඇත.

අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් නිසි පරිදි සංවිධානය කර ඇත. අනුරාධපුර පූජා නගරය ඇතුළු පුදබිම අපවිත්‍ර නොවන ආකාරයට කටයුතු කරන ලෙසත් නගරය සහ අවට ප්‍රදේශවල වැව්වලින් දිය නෑමේදී පොලිසිය විසින් ලබාදී ඇති උපදෙස් පිළිපඳින ලෙසත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී දිස්ත්‍රික් ලේකම්වරයා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, මිහින්තලේ- රංග චතූ, නොචිචියාගම – එම්.පී.ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment