පොහොට්ටුවට බලය හිමි අකුරැස්සේ අයවැය දෙවැනි වරටත් පරදියි

290

පොදුජන පෙරමුණට බලය හිමි අකුරැස්ස ප්‍රාදේශීය සභාවට සභාපතිවරයා වන මුනිදාස ගමගේ මහතා විසින් දෙවැනි වරටත් අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු එය වැඩි ඡන්ද 18කින් පරාජයට පත්විය.

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිස් වූ සභාපති ධුරය සඳහා ලේකම්වරයා විසින් පළාත් සභා පනත පැහැදිලි කර දීමෙන් අනතුරුව වැඩබලන නව සභාපතිවරයා වශයෙන් උප සභාපති ජගත් රාජපක්ෂ මහතා වැඩ භාර ගත්තේය.

පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) බලය හිමි සංයුතියේ වූයේ සභාපතිවරයා ඇතුළු දාහතර දෙනෙකි. සමගි ජන බලවේගයට මන්ත්‍රීවරුන් හයදෙනකු ද, ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීවරුන් තුන්දෙනකු ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රීවරුන් දෙදෙනකුත් වශයෙන් ද මන්ත්‍රී සංඛ්‍යාව බෙදී ගොස් තිබිණි.

සභාපති මුනිදාස ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද පහකි. විපක්ෂව ඡන්ද 18 ක් ලැබී තිබුණි. මන්ත්‍රීවරියෝ දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. මෙවර සභාව අයවැය ඉදිරිපත් කිරීමටත් පෙර සිටම උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණි.

අයවැය පරාජය වීමත් සමගම පරාජයට පත්වූ සභාපති මුනිදාස ගමගේ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ වීදුරු ගෙවල්වල සිට ගල් නොගසන ලෙසයි. ඔහු එසේ පැවසීමත් සමග සභාව නැවත වරක් දැඩි උණුසුම් ස්වරූපයක් ගත්තේය.
අකුරැස්ස සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment